සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

10. පුප්ඵ වර්ගය

3. ඵෙණ සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ අයොධ්‍යපුර සමීපයෙහි ගංගානම් නදීතෙර වැඩ වසනසේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, කියා භික්‍ෂූන් ඇමතූසේක. ඒ භික්‍ෂූහු ‘පින්වතුන් වහන්සැ’යි කියා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළසේක.

“මහණෙනි. යම්සේ වනාහි මේ ගංගානදී තොමෝ මහත් පෙණපිඩු ගෙන එන්නේද, ඇස් ඇති පුරුෂයෙක් තෙම ඒ පෙණපිඩු දකින්නේය, බලන්නේය, නුවණින් නැවත නැවත පරීක්‍ෂා කරන්නේය. ඒ පෙණපිඩු දක්නාවූ බලන්නාවූ, නුවණින් නැවත නැවත පරීක්‍ෂා කරන්නාවූ ඔහුට හිස්වූවක්ම වැටහෙන්නේය, ශූන්‍යවූවක්ම වැටහෙන්නේය, හර නැත්තක්වම වැටහෙන්නේය.

“මහණෙනි, පෙණපිඩ පිළිබඳව කිනම් හරයක් වන්නේද?

“මහණෙනි, එපරිද්දෙන්ම තමා පිළිබඳවූ හෝ පිටත්හිවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උසස්වූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද යම් රූපයක් වේද, දුරෙහි හෝ සමීපයෙහි හෝ යම් රූපයක් වේද, මහණතෙම ඒ රූපය දකියි, බලයි. නුවණින් නැවත නැවත පරීක්‍ෂා කර බලයි. ඒ රූපය බලන්නාවූ, සිතන්නාවූ, නුවණින් නැවත නැවත පරීක්‍ෂා කරන්නාවූ ඔහුට හිස්වූවක්වම වැටහෙන්නේය, ශූන්‍යවූවක්ම වැටහෙන්නේය, හරනැති වූවක්ම වැටහෙන්නේය.

“මහණෙනි, රූපයෙහි කිනම් හරයක් වන්නේද?

“මහණෙනි, යම්සේ වනාහි සරත් කාලයෙහි මහවැසි පොද ඇති වැසි වසින කල්හි දිය බුබුලු උපදීද, නැතිවේද, ඇස් ඇති පුරුෂයෙක් තෙම ඒ දිය බුබුලු දක්නේද, බලන්නේද, නුවණින් නැවත නැවත පරීක්ෂා කරන්නේද, ඒ දිය බුබුල දක්නාවූ බලන්නාවූ නුවණින් නැවත නැවත පරීක්ෂා කරන්නාවූ ඒ පුරුෂයාහට ඒ දිය බුබුල හිස්වූවකැයිම වැටහෙන්නේය, ශූන්‍යවූවකැයිම වැටහෙන්නේය, හර නැත්තකැයිම වැටහෙන්නේය.

“මහණෙනි, දිය බුබුලේ කිනම් හරෙක් වන්නේද?

“මහණෙනි, එසේම වනාහි තමා පිළිබඳවූ හෝ පිටත්හිවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ අතීත අනාගත-වර්තමානවූ යම් වේදනාවක් වේද, දුරවූ හෝ ලඟවූ හෝ යම් වේදනාවක් වේද, මහණතෙම ඒ වේදනාව දකියි. බලයි. නුවණින් නැවත නැවත පරීක්ෂාකර බලයි. ඒ වේදනාව දකින්නාවූ, සිතන්නාවූ, නුවණින් නැවත නැවත පරීක්ෂා කොට බලන්නාවූ, ඔහුට හිස්වූවක්ම වැටහෙන්නේය, ශූන්‍ය වූවක්වම වැටහෙන්නේය, නිස්සාරවූවක්වම වැටහෙන්නේය.

“මහණෙනි, වේදනාවේ කිනම් හරයක් වන්නේද?

“මහණෙනි, යම්සේ වනාහි ග්‍රීෂ්ම මාසයන්ගේ අන්තිම මාසයෙහි ඉරුමුදුනෙහි සිටි කල්හි මිරිඟුව සැලේද, ඇස් ඇති පුරුෂයෙක් ඒ මිරිඟුව දක්නේය, බලන්නේය, නුවණින් නැවත නැවත පරීක්ෂා කරන්නේය. දක්නාවූ බලන්නාවූ නුවණින් නැවත නැවත පරීක්ෂා කරන්නාවූ ඒ පුරුෂයාහට ඒ මිරිඟුව හිස්වූවකැයිම හිස්වූවකැයිම වැටහෙන්නේය, ශූන්‍යවූවකැයිම වැටහෙන්නේය, හර නැත්තකැයිම වැටහෙන්නේය.

“මහණෙනි, මිරිඟුවෙහි කිනම් හරයක් වන්නේද?

“මහණෙනි, එපරිද්දෙන්ම තමා පිළිබඳවූ හෝ පිටතවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ අතීත අනාගත-වර්තමානවූ යම්කිසි සංඥාවක් වේද, දුරවූ හෝ ලඟවූ හෝ යම් සංඥාවක් වේද, මහණතෙම ඒ සංඥාව දකියි, බලයි, නුවණින් නැවත නැවත පරීක්ෂා කෙරෙයි. ඒ සංඥාව දක්නාවූ බලන්නාවූ නුවණින් නැවත නැවත පරීක්ෂා කරන්නාවූ ඒ මහණහට (ඒ සංඥාව) හිස්වූවකැයිම වැටහෙන්නේය, ශූන්‍ය වූවකැයිම වැටහෙන්නේය, හර නැත්තකැයිම වැටහෙන්නේය.

මහණෙනි, සංඥාවගේ කිනම් හරෙක් වන්නේද?

“මහණෙනි, යම්සේ වනාහි අරටුවෙන් ප්‍රයෝජන ඇත්තාවූ අරටුව සොයන්නාවූ අරටුව සෙවීමෙහි ඇවිදින්නාවූ පුරුෂයෙක් තෙම කෙටේරියක් රැගෙන වනයකට පිවිසෙන්නේද, හෙතෙම එහි කෙළින්වූ නොපීදුණු මහ නාඹුල්කෙසෙල් ගසක් දක්නේද, හෙතෙම ඒ කෙලෙස් ගස මුලින් කපන්නේය, මුල කපා පිති කපන්නේය, පිති කපා පතුරු ගළවන්නේය, හෙතෙම ඒ කෙසෙල් ගසෙහි පතුරු ගළවනුයේ එළයද නොලබන්නේය, අරටුවක් කොයින් ලබන්නේද? ඇස් ඇති පුරුෂයෙක් ඒ කෙසෙල් පතුරු දක්නේය, බලන්නේය, නුවණින් නැවත නැවත පරීක්ෂා කරන්නේය. දක්නාවූ බලන්නාවූ නුවණින් නැවත නැවත පරීක්ෂා කරන්නාවූ ඒ පුරුෂයාහට ඒ කෙසෙල් පතුරු හිස්වූවකැයිම ශූන්‍ය වූවකැයිම හර නැත්තෙකැයිම වැටහෙන්නේය.

“මහණෙනි, කෙසෙල් කඳේ කිනම් හරයෙක් වන්නේද?

“මහණෙනි, එපරිද්දෙන්ම තමා පිළිබඳවූ හෝ අනුන් පිළිබඳවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ අතීත -අනාගත - වර්තමානවූ යම්කිසි සංස්කාරයෝ වෙද්ද, දුරවූ හෝ ලඟවූ හෝ යම් සංස්කාරයෝ වෙද්ද, මහණ තෙම එය දකියි, බලයි. නුවණින් නැවත නැවත පරීක්ෂා කරයි. ඒ සංස්කාර ස්කන්ධය දක්නාවූ බලන්නාවූ නැවත නැවත පරීක්ෂා කරන්නාවූ ඔහුට එය හිස්වූවකැයිම ශුන්‍ය වූවකැයිම හර නැත්තෙකැයිම වැටහෙන්නේය.

“මහණෙනි, සංස්කාරයන්හි කිනම් හරයෙක් වන්නේද?

“මහණෙනි, යම්සේ වනාහි මායාකාරයෙක් හෝ මායාකාරයෙකුගේ අතවැස්සෙක් හෝ සතරමංසන්ධියෙක ඇස් බැන්ඳුම දක්වන්නේද, ඇස් ඇති පුරුෂයෙක් ඒ ඇස් බැන්ඳුම දක්නේය, බලන්නේය. නුවණින් සලකන්නේය. ඒ මායාව දක්නාවූ බලන්නාවූ නුවණින් නැවත නැවත පරීක්ෂා කරන්නාවූ ඔහුට හිස්වූවකැයිම වැටහෙන්නේය, ශූන්‍යවූවකැයිම වැටහෙන්නේය, හර නැත්තෙකැයිම වැටහෙන්නේය.

“මහණෙනි, මායාවෙහි කිනම් හරයෙක් වන්නේද?

එපරිද්දෙන්ම මහණෙනි, තමා පිළිබඳවූ හෝ පිටත්හිවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ අතීත අනාගත -වර්තමානවූ හෝ යම්කිසි විඤ්ඤාණයෙක් වේද, දුරවූ හෝ ලඟවූ හෝ යම් විඤ්ඤාණයෙක් වේද, මහණතෙම ඒ විඤ්ඤාණය දකියි, බලයි, නුවණින් විමසයි. ඒ විඤ්ඤාණය දක්නාවූ බලන්නාවූ නුවණින් විමසන්නාවූ ඒ මහණහට හිස් වූවක්ම වැටහෙන්නේය, ශූන්‍යවූවක්ම වැටහෙන්නේය, හරනැත්තෙක්ම වැටහෙන්නේය.

“මහණෙනි, විඤ්ඤාණයෙහි කිනම් හරයෙක් වන්නේද?

“මහණෙනි, මෙසේ දක්නාවූ ඇසූ පිරූ තැන් ඇත්තාවූ ආර්යශ්‍රාවක තෙම රූපයෙහිද කලකිරෙයි, වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි, සංස්කාරයන්හිද කලකිරෙයි, විඥානයෙහිද කලකිරෙයි, කලකිරුණේ නො ඇලෙයි, නො ඇලීමෙන් (කෙලෙසුන්ගෙන්) මිදේ. මිදුණු කල්හි “මිදුණේයයි දැනීම වෙයි, ජාතිතොමෝ ක්ෂයවූවාය, බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිමකරන ලද්දේය, කළයුත්ත කරන ලද්දේය, මේ ආත්මභාවය සඳහා කළයුතු අනිකක් නැතැ”යි දැනගනී. මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ශාස්තෲවූ සුගතයන් වහන්සේ මෙය වදාරා අනතුරුව මේ ගාථා වදාළසේක.

“රූපය පෙණපිඩක් බඳුය, වේදනාව දියබුබුලක් බඳුය, සංඥාව මිරිඟුවක් බඳුය, සංස්කාරයෝ කෙසෙල් ගසක් බඳුවූහ, විඥානය මායාවක් බඳුයයි සූර්යවංශිකයනට නෑවූ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදහ.

“යමෙක් ඒ පස්කඳ නුවණින් බලාද යම් යම් අයුරකින් සිතාද, නුවණින් නැවත නැවත විමසාද, (ඔහුට එය) හිස්ව වැටහෙයි, ශූන්‍යව වැටහෙයි.

“යමෙක් (ජීවිතෙන්ද්‍රිය, කර්මයෙන් උපන් තෙජොධාතුව, සිත යන) ධර්මයන් තිදෙන පහකළාවූ (එහෙයින්ම නෑයන් විසින් බැහැර) දමන ලද රූපය දක්නේද, (හෙතෙම) සියුම් ප්‍රඥාව ඇත්තාවූද, මහත් පැතුරුණු ප්‍රඥාව ඇත්තාවූද, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ කය ගැරහිය යුතු කොට දෙසන ලදැයි දක්නේය.

“යම් කලෙක්හි ජීවිතෙන්ද්‍රියයද කර්මයෙන් උපන් තේජොධාතුවද, සිතද මේ කය හරිද්ද, එකල්හි සිතිවිලි නැත්තක්ව (නානාවිධ පණු ආදීන්ට) ගොදුරුව (ඥාතීන් විසින්) ඉවත දමන ලද්දේ (පොළොව මත) හෝනේය.

“යම් මේ විඤ්ඤාණස්කන්ධයක් වේද, (එය) අඥාන මහජනයා කතාකරවන මායාවක් නම්වෙයි, ‘එබඳු ප්‍රවේණිය වෙයි, මේ පඤ්චස්කන්ධය වධකයෙක් යයි වදාරණ ලදී.

පටන් ගන්නා ලද වීර්යය ඇත්තාවූ, සම්‍යක් ප්‍රඥාව ඇත්තාවූ, එළඹ සිටි සිහි ඇත්තාවූ, මහණතෙමේ ඉදින් දවල් හෝ රෑ හෝ ස්කන්ධයන් මෙසේ දක්නේද, (ඒ මහණතෙමේ) සියලු (දස) සංයෝජනය පහකරන්නේය. තමහට පිහිට ඇති කරන්නේය, නිර්වාණය පතමින් හිස ගිනිගත්තෙකුසේ හැසිරෙන්නේය.”

(තුන්වෙනි ඵෙණ සූත්‍රය නිමි.)