සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

9. ථෙර වර්ගය

5. වක්කලි සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි වනාහි ආයුෂ්මත් වක්කලි ස්ථවිරතෙමේ හටගත් ආබාධ ඇතිව දුකට පත්ව බලවත්සේ ගිලන්ව කුම්භකාර ශාලාවක වාසය කරයි.

ඉක්බිති ආයුෂ්මත් වක්කලි ස්ථවිරතෙමේ උපස්ථායකයන් කැඳවීය.

“ඇවැත්නි, (මෙහි) එව්, තෙපි භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණෙවු, පැමිණ මාගේ වචනයෙන් ‘ස්වාමීනි, වක්කලි භික්ෂුතෙම හටගත් ආබාධ ඇත්තේය, දුකට පත්වූයේය, දැඩි ගිලන් බැව් ඇත්තේය. හෙතෙම භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් වඳී’යයි භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් වඳිවු, මෙසේත් කියවු:- ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වක්කලි භික්ෂුව යම්තැනෙකද, එතැනට අනුකම්පා පිණිස වැඩියහොත් මැනව” කියායි.

“එසේය ඇවැත්නි”යි (කියා) ආයුෂ්මත් වක්කලි තෙරුන්ට උත්තරදී භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියාහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය කීහ:-

“ස්වාමීනි, වක්කලි භික්ෂුතෙම හටගත් රෝග ඇත්තේය, දුකට පැමිණියේය, දැඩි ගිලන්බැව් ඇත්තේය, හෙතෙම භාග්‍යවතුන් වහන්සේගේ පාදයන්වඳී. ‘ස්වාමීනි, යාඥාකරමි, භාග්‍යවතුන් වහන්සේ වක්කලි භික්ෂුතෙම යම් තැනෙකද එතැනට අනුකම්පා පිණිස වඩිනසේක්වා.” භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් ඉවසා වදාළසේක.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හැඳ පොරවා වක්කලි භික්ෂුතෙම යම් තැනෙකද, එතැනට වැඩිසේක. ආයුෂ්මත් වක්කලි තෙර දුරදීම වඩින්නාවූ බුදුරජාණන් වහන්සේ දැක, ගෞරව පිණිස ඇඳෙන් නැඟිටීමට උත්සාහ කෙළේය.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් වක්කලි ස්ථවිරයන්ට ‘වක්කලිය, කම්නැත, තෙපි ඇඳෙන් නො නැගිටිව් මේ පනවනලද අසුන් ඇත්තාහ. මම එහි හිඳිමියි.” වදාළසේක.

“භාග්‍යවතුන් වහන්සේ පනවන ලද අස්නෙහි වැඩහුන් සේක, භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ ආයුෂ්මත් වක්කලි තෙරුන්ට මෙය වදාළසේක:-

“කිම? වක්කලිය, තට දුක ඉවසිය හැකිද? ඉරියව් යැපිය හැකිද? කිම? දුඃඛ වේදනාවෝ නවතිද්ද, වැඩීමට නොපැමිණෙද්ද, දුක් වේදනාවන්ගේ නැවතීම පෙනේද, දියුණුවීම නොපැනේද?”

“ස්වාමීනි, මට ඉවසාගත නොහැකිය, ඉරියව් යැපිය නොහැකිය, මගේ දැඩි දුක් වේදනාවෝ වැඩෙති, නොනවතිත්, මේ දුක් වේදනාවන්ගේ දියුණුව පෙනෙයි, නැවැත්ම නොපෙනේ.”

“කිම? වක්කලිය, තට කිසි පසුතැවීමක් නොවේද, කිසි විපිළිසර බවක් නොවේද? ස්වාමීනි, මට ඒකාන්තයෙන් සුලුනොවූ පසුතැවීමක්, සුලුනොවූ විපිළිසර බවක් ඇත්තේය.”

“කිම? වක්කලිය, තට තෙමේ ශීලයෙන් චෝදනා නොකෙරේද?” - “ස්වාමීනි, මට තෙමේ ශීලවශයෙන් චෝදනා නොකෙරෙයි.”

“වක්කලිය, ඉදින් තට තෙමේ ශීලයෙන් චෝදනා නොකෙරේ නම්, එවිට තට කිනම් පසුතැවීමක්ද, කිනම් විපිළිසර බවක්ද?”

“ස්වාමීනි, මම බොහෝ කලෙක පටන් භාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස යනු කැමැත්තෙමි. එහෙත් භාග්‍යවතුන් වන්සේ දක්නට යාමට තරම්වූ ශක්තියක් නැත.

“වක්කලිය, කම්නැත, මේ කුණුකය දකිනු ලැබීමෙන් කිනම් ප්‍රයෝජනයක්ද? වක්කලිය, යමෙක් වනාහි ධර්මය දකීද, හෙතෙම මා දක්නේය, යමෙක් මා දකීද, හෙතෙම ධර්මය දක්නේය.

වක්කලිය, ධර්මය දකින තැනැත්තේ වනාහි මා දකියි. මා දකින තැනැත්තේ ධර්මය දකියි.

‘වක්කලිය, ඒ කිමැයි සිතන්නෙහිද? රූපය නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’

‘වේදනාව නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’

‘සංඥාව නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’

‘සංස්කාරයෝ නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේද?’ -“ස්වාමීනි, අනිත්‍යය.’

‘විඤ්ඤාණය නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේද?’ -‘ස්වාමීනි, අනිත්‍යය.’

“එහෙයින් වක්කලිය, අතීතවූ හෝ අනාගතවූ හෝ වර්තමානවූ හෝ අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි රූපයෙක් වේද, ඒ මේ සියලු රූපය ‘එය මාගේ නොවේය, එය මම නොවෙමි, එය මාගේ ආත්මය නොවේ’ යයි මෙසේ තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දතයුතුය.

“අතීතවූ හෝ අනාගතවූ හෝ වර්තමානවූ හෝ අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි වේදනාවක් වේද, ‘ඒ හැම වේදනාව මාගේ නොවේ. මම නොවෙමි. මාගේ ආත්මය නොවේ’යයි මෙසේ තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දතයුතුය.

“අතීතවූ හෝ අනාගතවූ හෝ වර්තමානවූ හෝ අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි සංඥාවක් වේද, ‘ඒ සියලු සංඥාව මාගේ නොවේ, මම නොවෙමි, මාගේ ආත්මය නොවේ’යයි මෙසේ තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දතයුතුය.

“අතීතවූ හෝ අනාගතවූ හෝ වර්තමානවූ හෝ අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි සංස්කාරයෝ වෙද්ද, ‘ඒ සියලු සංස්කාර මාගේ නොවේ, මම නොවෙමි, මාගේ ආත්මය නොවේ’යයි මෙසේ තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දතයුතුය.

“අතීතවූ හෝ අනාගතවූ හෝ වර්තමානවූ හෝ අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි විඥානයෙක් වේද, ‘ඒ සියලු විඥානය මාගේ නොවේ, මම නොවෙමි, මාගේ ආත්මය නොවේ’යයි මෙසේ සම්‍යක් ප්‍රඥාවෙන් තත්වූ පරිද්දෙන් දතයුතුය.

“මෙසේ දක්නාවූ ආර්යශ්‍රාවකතෙම රූපයෙහිද කලකිරෙයි, වේදනාවෙහිද කලකිරෙයි, සංඥාවෙහිද කලකිරෙයි, සංස්කාරයන්හිද කලකිරෙයි, විඥානයෙහිද කලකිරෙයි, කලකිරුණේ නොඇලෙයි, නොඇලීමෙන් (කෙලෙසුන් කෙරෙන්) මිදෙයි, මිදුනුකල්හි ‘මිදුණේ’ යයි දැනීම වෙයි. ජාතිය ක්‍ෂය විය. මාර්ගබ්‍රහ්මචර්යය වැස නිමවන ලද්දේය. කළයුත්ත කරණ ලද්දේය. මේ රහත්බව පිණිස කළයුතු අනිකෙක් නැතැයි දැනගනී.”

ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් වක්කලි ස්ථවිරයන්ට මේ අවවාදයෙන් අවවාදකොට හුනස්නෙන් නැගිට ගිජුකුළුපව්ව යම් තැනෙක්හිද, එතැනට වැඩිසේක.

“ඉක්බිති ආයුෂ්මත් වක්කලි ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ වැඩිය නොබෝ වේලාවකින් උපස්ථායකයන් කැඳවිය. කැඳවා “යනුමැනවි ඇවැත්නි; මා ඇඳක තබා ඉසිගිලි පර්වතය (පසෙකවූ) කාලසිලා විහාරය යම් තැනෙකද, එහි ගෙන යනු මැනව. කෙසේ නම් මා වැන්නෙක් ඇතුළු ගමෙහි කළුරිය කළයුතු යයි සිතන්නේද?” “ඇවැත එසේය කියා” ඒ භික්ෂූහු ආයුෂ්මත් වක්කලි තෙරුන්ට උත්තර දී ආයුෂ්මත් වක්කලි තෙරුන් ඇඳක තබා ඉසිගිලි පව්වෙහි (පසෙකවූ) කාලසිලා විහාරය යම් තැනෙකද, එතැනට ගෙන ගියාහුය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රැයද ඒ දවාලෙහි ඉතිරි කොටසද ගිජ්ජකූට පර්වතයෙහි විසූසේක.

“ඉක්බිති දේවතාවෝ දෙදෙනෙක් රෑ පෙරයම් දසපැය ඉක්මගිය කල්හි බබලන ශරීර වර්ණයෙන් යුක්තවූවාහු මුළු ගිජුකුළුපව්ව බබුලුවාගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියාහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියාහුය. එකත්පස්ව සිටියාවූ එක් දේවතාවෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය:-

“ස්වාමීනි, වක්කලි භික්ෂුතෙම අර්හත් මාර්ගයට පැමිණීම පිණිස උත්සාහ කරයි. අනික් දේවතාතොම “ස්වාමීනි, ඒ වක්කලි භික්ෂුතෙම අර්හත්ඵල විමුක්තියෙන් මිදුනෙක්ව මිදෙන්නේයයි හඟිමි”යි යන මෙය කීය. ඒ දේවතාවෝ මෙය කීහ. මෙය කියා භාග්‍යවතුන් වහන්සේ වැඳ ගරුකොට එහිම නොපෙණී ගියාහුය.

“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රියගේ ඇවෑමෙන් භික්ෂූන් ඇමතූසේක. “මහණෙනි, තෙපි එවූ, වක්කලි භික්ෂු යම් තැනෙකද, එතැනට පැමිණෙවූ, පැමිණ වක්කලි භික්ෂුවට මෙසේ කියවු:- ‘ඇවැත් වක්කලි, භාග්‍යවතුන් වහන්සේගේද දිව්‍ය පුත්‍රයන් දෙදෙනාගේද වචනය අසව. ඇවත, මේ රැයෙහි දේවතාවෝ දෙදෙනෙක් ප්‍රථම යාමය ඉකුත්ව ගිය කල්හි බබලන ශරීර වර්ණයෙන් යුක්තව හාත්පස ගිජුකුළුපව්ව ඒකාලෝක කොට බබුලුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පැත්තෙක සිටියහ. ඇවත, එක්පැත්තෙක සිටියාවූ එක් දේවතාවෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේය:-

‘ස්වාමීනි, වක්කලි භික්ෂුතෙම අර්හත් මාර්ගයට පැමිණීම පිණිස උත්සාහ කරයි. අන්‍ය දේවතාතොම භාග්‍යවතුන් වහන්සේට මෙය දැන්වීය. ‘ස්වාමීනි, ඒ භික්ෂුව අර්හත්ඵල විමුක්තියෙන් මිදුනෙක්ව මිදෙන්නේයයි සිතමි’ කියායි.

‘ඇවත වක්කලි, භාග්‍යවතුන් වහන්සේද තොපට මෙසේ වදාරති:- ‘වක්කලිය, බිය නොවෙව, වක්කලිය බිය නොවෙව, තොපගේ මරණය ලාමක නොවන්නේය. ලාමක නොවූ කාලක්‍රියාවක් වන්නීය, යනුයි.’

‘එසේය ස්වාමීනි,’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ආයුෂ්මත් වක්කලි තෙර යම් තැනෙකද, එතැනට පැමිණියාහුය. පැමිණ ආයුෂ්මත් වක්කලි තෙරුන්ට මෙයකීහ:-

‘ඇවත වක්කලි ස්ථවිරයෙනි, භාග්‍යවතුන් වහන්සේගේද, දිව්‍යපුත්‍රයන් දෙදෙනාගේද වචනය අසවු’යි කීහ.

ඉක්බිති ආයුෂ්මත් වක්කලි ස්ථවිරතෙම උපස්ථායකයන් කැඳවීය. ‘ඇවැත්නි, එනු මැනවි. මා ඇඳෙන් බස්වනු මැනවි. කෙසේ නම් මාවැන්නෙක් උස් අසුනෙහි හිඳ භාග්‍යවතුන් වහන්සේගේ පණිවුඩය ඇසිය යුතු යයි හඟින්නේදැයි’ කීය. ‘එසේය ඇවැත්නි.’ කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් වක්කලි තෙරුන්ට උත්තර දී, ආයුෂ්මත් වක්කලි තෙරුන් ඇඳෙන් බැස්වූහ.

“ඇවත, මේ රාත්‍රියෙහි දේවතාවෝ දෙදෙනෙක් පළමු දසපැය ඉක්මගිය කල්හි බබලන ශරීර වර්ණයෙන් යුක්තව මුලු ගිජුකුළුපව්ව බබුලුවා භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද, එතැනට පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව සිටියාහුය. ඇවත, එකත්පස්ව සිටියාවූ එක් දේවතාවෙක් භාග්‍යවතුන් වහන්සේට ‘ස්වාමීනි, වක්කලි භික්ෂු තෙම මාර්ගයට පැමිණීම පිණිස උත්සාහ කෙරේයයි’ කීය. අනික් දේවතාතොම භාග්‍යවතුන් වහන්සේට ‘ස්වාමීනි, ඒ භික්ෂුතෙම අර්හත්ඵල විමුක්තියෙන් මනාව මිදුනෙක්ව මිදෙන්නේය’යි කීය.

‘ඇවැත් වක්කලි ස්ථවිරයෙනි, භාග්‍යවතුන් වහන්සේද තොපට ‘වක්කලිය, බිය නොවෙව, වක්කලිය බිය නොවෙව, තොපගේ මරණය අලාමක වන්නේය. කළුරිය කිරීම අලාමක වන්නේ’යයි මෙසේ වදාරත්.

‘ඇවැත්නි, එසේවීනම් මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් හිසින් වඳිවු. ‘ස්වාමීනි, රෝග සහිතවූ දුකට පත්වූ දැඩිසේ ගිලන්වූ වක්කලි භික්ෂුව භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් හිසින් වඳී. මෙසේද කියයි. රූපය අනිත්‍යය, ස්වාමීනි, මම එය සැක නොකරමි. යමක් අනිත්‍යය වේද, ඒ දුකයයි සැක නොකරමි.

යමක් අනිත්‍යවේද, දුක්වේද, පෙරලෙන ස්වභාව ඇත්තේ වේද, එහි මාගේ ආලයෙක් (ආශාවක්) හෝ රාගයක් හෝ ප්‍රේමයෙක් හෝ නැතැයි සැක නොකරමි. වේදනාව අනිත්‍ය වේ. ස්වාමීනි, මම එය සැක නොකරමි. යමක් අනිත්‍ය නම් ඒ දුකයයි සැක නොකරමි. යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරලෙන ස්වභාව ඇත්තේ නම් එහි මාගේ ආලයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ නැතැයි සැක නොකරමි. සංඥාව අනිත්‍ය වන්නේය, ස්වාමීනි මම එය සැක නොකරමි. යමක් අනිත්‍ය වේද, ඒ දුක් වේයයි සැක නොකරමි. යමක් අනිත්‍යද, දුක්ද, පෙරලෙන ස්වභාව ඇත්තේද, එහි මාගේ ආලයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ නැතැයි සැක නොකරමි. සංස්කාරයෝ අනිත්‍යයහ. ස්වාමීනි, මම එය සැක නොකරමි. යමක් අනිත්‍යවෙද්ද, ඒ දුකැයි සැකනොකරමි. යමක් අනිත්‍යවෙද්ද, දුක්වෙද්ද, පෙරලෙන ස්වභාව ඇත්තාහු වෙද්ද, එහි මාගේ ආලයෙක්වත් රාගයෙක්වත් ප්‍රේමයෙක්වත් නැතැයි සැක නොකරමි. විඥානය අනිත්‍යය, ස්වාමීනි, මම එය සැක නොකරමි. යමක් අනිත්‍යද, ඒ දුකැයි සැක නොකරමි. යමක් අනිත්‍යද, දුක්ද, පෙරලෙන ස්වභාව ඇත්තේද, එහි මාගේ ආලයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ නැතැයි සැක නොකරමි.’

‘එසේය ඇවැත්නි,’ කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් වක්කලි තෙරුන්ට උත්තර දී ගියාහුය.

ඉක්බිති ආයුෂ්මත් වක්කලි ස්ථවිරතෙම ඒ භික්ෂූන් ගිය නොබෝ වේලාවකදී ආයුධයකින් ගෙළ සිඳගත්තේය.

ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක් හිද, එතැනට පැමිණියාහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පැත්තෙක හුන්හ. එක් පැත්තෙක හුන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ:-

‘ස්වාමීනි, රෝග සහිතවූ, දුකට පත්වූ, දැඩි ගිලන්වූ වක්කලි භික්ෂුව භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් හිසින් වඳී, මෙසේද කියයි:-

‘රූපය අනිත්‍යය, ස්වාමීනි, මම එය සැක නොකරමි. යමක් අනිත්‍යද, එය දුක් යයි සැක නොකරමි. යමක් අනිත්‍යයද, දුක්ද, පෙරලෙන ස්වභාව ඇත්තේද, එහි මාගේ ආලයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ නැතැයි සැක නොකරමි. වේදනාව අනිත්‍යය. ස්වාමීනි, මම එය සැක නොකරමි. යමක් අනිත්‍යයද, ඒ දුකයයි සැක නොකරමි. යමක් අනිත්‍යයද, දුක්ද, පෙරලෙන ස්වභාව ඇත්තේද, එහි මාගේ ආලයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ නැතැයි සැක නොකරමි. සංඥාව අනිත්‍යය. ස්වාමීනි, මම එය සැක නොකරමි. යමක් අනිත්‍යයද, ඒ දුකයයි සැක නොකරමි. යමක් අනිත්‍යයද, දුක්ද, පෙරලෙන ස්වභාව ඇත්තේද, එහි මාගේ ආලයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ නැතැයි සැක නොකරමි. සංස්කාරයෝ අනිත්‍යයහ. ස්වාමීනි, මම එය සැක නොකරමි. යමක් අනිත්‍ය වෙද්ද, ඒ දුකයයි සැක නොකරමි. යමක් අනිත්‍යය වෙද්ද, දුක් වෙද්ද, පෙරලෙන ස්වභාව ඇත්තාහු වෙද්ද, එහි මාගේ ආලයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ නැතැයි සැක නොකරමි. විඥානය අනිත්‍යය. ස්වාමීනි, මම එය සැක නොකරමි. යමක් අනිත්‍යයද, එය දුකයයි සැක නොකරමි. යමක් අනිත්‍යයද, දුක්ද, පෙරලෙන ස්වභාව ඇත්තේද, එහි මාගේ ආලයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ නැතැයි සැක නොකරමි, (යනුයි.)

ඉක්බිති භාග්‍යවතුන් වන්සේ භික්ෂූන්ට අඬගා වදාළසේක. ‘මහණෙනි, යමු, ඉසිගිලි පර්වත පාර්ශවයෙහි කාලසිලා විහාරය යම් තැනෙකද, යම් තැනෙක්හි වක්කලි කුලපුත්‍රයා විසින් ගෙළ සිඳින ලදද, එතැනට පැමිණෙම්හ.” “එසේය ස්වාමීනි,” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්ෂූන් සමග ඉසිගිලි පව්ව පසෙහිවූ කාලසිලා විහාරය යම් තැනෙකද, එතැනට වැඩිසේක. භාග්‍යවතුන් වහන්සේ ඇඳෙහි පෙරැළුණු කඳ ඇතිව සයනය කරන්නාවූ ආයුෂ්මත් වක්කලි තෙරුන් දුරදීම දුටුසේක.

එකල්හි වනාහි දුමක් අඳුරක් නැගෙනහිර දෙසට යයි. බස්නාහිර දෙසට යයි. උතුරු දිගට යයි. දකුණු දිගට යයි උඩට යයි. යටට යයි. අනුදිගට යයි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූසේක. “මහණෙනි, තෙපි නැගෙනහිරට යන්නාවූද, බස්නාහිරට යන්නාවූද උතුරට යන්නාවූද, දකුණට යන්නාවුද, උඩට යන්නාවූද, පහළට යන්නාවූද, අනුදිගට යන්නාවූද, ඒ අට අඳුර දක්නහුද?” - “එසේය ස්වාමීනි.”

“මහණෙනි, ඒ පවිටු මාරතෙම වක්කලි කුලපුත්‍රයාගේ (ප්‍රතිසන්ධි) විඥානය කොතැනක පිහිටියේදැ”යි වක්කලි කුලපුත්‍රයාගේ (ප්‍රතිසන්ධි විඥානය) සොයන්නේය. මහණෙනි, නොපිහිටි විඥානයෙන් (යුක්තව) වක්කලි කුලපුත්‍රතෙම (ස්කන්ධ පරිනිර්වාණයෙන්) පිරිනිවියේයයි (වදාළසේක.)

(පස්වැනි වක්කලි සූත්‍රය නිමි.)