සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

4. නතුම්හාක වග්ගය

4. භික්ඛු සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක.

එකල්හි වනාහි එක්තරා භික්ෂූවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පැත්තක හුන්නේය, එක් පැත්තක හුන්නාවූ, ඒ භික්ෂුතෙමේ භාග්‍යවතුන්. වහන්සේට මෙසේ සැළකෙළේය.

“ස්වාමීනි, යම්බඳුවූ මම භාග්‍යවතුන්වහන්සේගේ ධර්මය අසා තනිව විවේකව අප්‍රමාදව කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව ආත්මපරිත්‍යාගයෙන් යුක්තව වාසය කරන්නෙම්ද, භාග්‍යවතුන් වහන්සේ මට (එබඳුවූ) ධර්මයක් කොටින් දේශනා කරන සේක්වා යනුවෙනි.”

“මහණ යමක් අත්නොහැර පවතීද, එය ඒ සමග මැරෙයි. යමක් ඒ සමග මැරෙයිද, එය ඒ (රාගයෙන් යුත් පුද්ගලයෙක යනාදීන්) සංඛ්‍යාවට යයි. යමක් අත්නොහැර නොපවතියිද, එය ඒ සමග නොමැරෙයි. එය ඒ සංඛ්‍යාවට නොයයි” කියා භාග්‍යවතුන්වහන්සේ වදාළේය. “භාග්‍යවතුන් වහන්ස, මා විසින් දැනගන්නා ලදී. සුගතයන් වහන්ස, මා විසින් දැනගන්නා ලදැයි” භික්ෂුතෙම කීය.

“මහණ, මා විසින් කොටින් දෙසන ලද්දහුගේ අර්ථය විස්තර වශයෙන් කෙසේ දැන ගත්තෙහිදැ”යි? විචාළේය.

“ස්වාමීනි, ඉදින් රූපය අත්නොහැර පවතීද එය ඒ සමග මැරෙයි. යමක් ඒ සමග මැරෙයිද, එය ඒ සංඛ්‍යාවට යයි.

“ඉදින් වේදනාව අත්නොහැර පවතීද, එය ඒ සමග මැරෙයි. යමක් එය ඒ සමග මැරෙයිද, ඒ සංඛ්‍යාවට යයි.

“ඉදින් සංඥාව අත්නොහැර පවතීද, එය ඒ සමග මැරෙයි. යමක් ඒ සමග මැරෙයිද, එය ඒ සංඛ්‍යාවට යයි.

“ඉදින් සංස්කාරයන් අත්නොහැර පවතීද, එය එ සමග මැරෙයි. යමක් ඒ සමග මැරෙයිද, එය ඒ සංඛ්‍යාවට යයි

“ඉදින් විඤ්ඤාණය අත්නොහැර පවතීද, එය ඒ සමග මැරෙයි. යමක් ඒ සමග මැරෙයිද, එය ඒ සංඛ්‍යාවට යයි.”

“මහණ, ඉදින් රූපය අත්නොහැර නොපවතියි නම් එය ඒ හා සමග නොමැරෙයි. යමක් ඒ හා සමග නොමැරෙයි නම් එය ඒ සංඛ්‍යාවට නොයයි.

“ඉදින් වේදනාව අත්නොහැර නොපවතියි නම් එය ඒ හා සමග නොමැරෙයි. යමක් ඒ හා සමග නොමැරෙයි නම් එය ඒ සංඛ්‍යාවට නොයයි.

“ඉදින් සංඥාව අත්නොහැර නොපවතියි නම් එය ඒ හා සමග නොමැරෙයි. යමක් ඒ හා සමග නොමැරෙයි නම් එය ඒ සංඛ්‍යාවට නොයයි.

‘ඉදින් සංස්කාරයන් අත්නොහැර නොපවතියි නම් එය ඒ හා සමග නොමැරෙයි. යමක් ඒ හා සමග නොමැරෙයි නම් එය ඒ සංඛ්‍යාවට නොයයි.

“ඉදින් විඤ්ඤාණය අත්නොහැර නොපවතියි නම් එය ඒ අනුසය හා සමග නොමැරෙයි. යමක් ඒ හා සමග නොමැරෙයි නම් එය ඒ සංඛ්‍යාවට නොයයි.

“මහණ, මා විසින් කොටින් කියන ලද මේ දේශනයාගේ අර්ථය මෙසේ විස්තර වශයෙන් දත යුත්තේයයි” වදාළේය.

එකල්හි ඒ භික්ෂුතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටුවී අනුමෝදන්වී හුනස්නෙන් නැගිට භාග්‍යවතුන්වහන්සේට වැඳ, පැදකුණුකොට ගියේය. ඉක්බිති ඒ භික්ෂුතෙම තනිව විවෙකව අප්‍රමාදව කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව ආත්ම පරිත්‍යාගයෙන් යුක්තව වාසය කරන්නේ කුලපුත්‍රතෙම යම් අර්ථයක් උදෙසා මනාකොට ගිහි ගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිවෙද්ද, මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව අවසානකොට ඇති ඒ උතුම් අර්ථය නොබෝ කලකින් තෙමේ විශිෂ්ඨ ඥානයෙන් ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කෙළේය. ජාතිය ක්ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මතු කළ යුත්තක් නැතැයි දැන ගත්තේය. ඒ මහණතෙම රහතුන් අතුරෙන් එක්තරා රහත් භික්ෂුවක් විය.

(හතරවෙනි භික්ඛු සූත්‍රය නිමි.)