සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

10. පුප්ඵ වර්ගය

8. ගද්දුලා සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතුසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු, (සසර) නැවත නැවත දුවන්නා වූ, සැරිසරන්නා වූ, සත්ත්වයන්ගේ මේ සසර නොදන්නාලද කොන් ඇත්තේය. පූර්ව කෙළවර නොපෙණෙයි. මහණෙනි, යම්සේ වනාහි බලුදමින් බඳනාලද සුනඛතෙම තද හුලෙක වේවයි මහ කණුවක වේවයි බඳනා ලද්දේ වේද, ඉදින් ඒ බල්ලා නම් එම හුලේ හෝ කණුවේ හෝ සමීපයට යයි, ඉදින් සිටී නම් එම හුලේ හෝ කණුවේ හෝ ළඟම සිටී, ඉදින් හිඳී නම් එම හුලේ හෝ කණුවේ ළඟ හිඳී, ඉදින් ලගී නම් එම හුලේ හෝ කණුවේ හෝ ළඟ ලගී.

‘මහණෙනි, එපරිද්දෙන්ම ඇසූ පිරූ තැන් නැති පෘථජ්ජනතෙම ‘ මේ රූපය මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්ම’යයි රූපය ආත්මයයි දෘෂ්ටි වශයෙන් දක්නේය. ‘මේ වේදනාව මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්ම’යයි වේදනාව ආත්මයයි දක්නේය. ‘මේ සංඥාව මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්ම’යයි සංඥාව ආත්මයයි දක්නේය. මේ සංස්කාරක මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්ම’යයි සංස්කාරයන් ආත්මයයි දක්නේය. ‘මේ විඥානය මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්ම’යි විඥානය ආත්මයයි දක්නේය.

“ඉදින් ඒ පෘථග්ජනතෙම යයි නම් මේ පඤ්චඋපාදානස්කන්ධයන් කරාම යෙයි. ඉදින් සිටී නම් මේ පඤ්චඋපාදානස්කන්ධයන් කරාම සිටී. ඉදින් හොවී නම් මේ පඤ්චඋපාදානස්කන්ධයන් කරාම හොවී. ඉදින් හිඳී නම් මේ පඤ්චඋපාදානස්කන්ධයන් කරාම හිඳී එහෙයින් මහණෙනි, ‘දීර්ඝ කාලයක් මුලුල්ලෙහි මේ සිත රාගයෙන්ද, ද්වේෂයෙන්ද, මෝහයෙන්ද, අතිශයින් කිලිටියයි නිරතුරුව තමාගේ සිත ගැන නුවණින් සලකා බැලිය යුතුය.

“මහණෙනි, සත්ත්වයෝ සිත කිලිටුවීමෙන් කිලුටු වන්නාහුය. සත්ත්වයෝ සිත පිරිසිදුවීමෙන් විශෙෂයෙන් පිරිසිදු වෙත්. මහණෙනි, තොප විසින් ‘හැසිරෙන’ සිතියමක් නම් දක්නා ලද්දේද?” - “ස්වාමීනි, එසේය”

“මහණෙනි, ඒ හැසිරෙන සිතියමද සිතින්ම සිතන ලද්දේය. මහණෙනි, ඒ හැසිරෙන සිතියමටද වඩා සිතම ඉතා විසිතුරුය.

“මහණෙනි, එහෙයින් ‘බොහෝ කලක් මුලුල්ලේ රාගයෙන්ද, ද්වේෂයෙන්ද, මොහයෙන්ද, මේ සිත අතිශයින් කෙලෙසුණේ” යයි නිතර ස්වකීය වූ සිත ගැන(නුවණින්) සලකා බැලිය යුතුය.

“මහණෙනි, සත්ත්වයෝ සිත කෙලෙසීමෙන් කෙළෙසෙන්නාහුය. සිත පිරිසිදුවීමෙන් විශෙෂයෙන් පිරිසිදු වන්නාහුය.

“මහණෙනි, මේ සිත යම්සේද, මම එබඳුවූ අන් එක නිකායකුදු (සමාන වර්ගයක්) නොමදකිමි.

“මහණෙනි, මේ තිරිසන්ගත සත්ත්වයෝ වෙද්ද, මහණෙනි, ඒ තිරිසන්ගත සත්ත්වයෝද කර්ම සිතින්ම විසිතුරු වූහ.

“මහණෙනි, එහෙයින් ‘බොහෝ කලක් මුලුල්ලෙහි රාගයෙන්ද, ද්වේෂයෙන්ද, මොහයෙන්ද මේ සිත අතිශයින් කෙළෙසුණේ’යයි නිතර ස්වකීය වූ සිත ගැන (නුවණින්) සලකා බැලිය යුතුය.

“මහණෙනි, යම්සේ වනාහි (රදවෙක්) රෙදිපාට කරන්නෙක් හෝ සිත්තරෙක් හෝ විද්‍යමාන වූ සායමකින් හෝ ලාකඩින් හෝ කහයෙන් හෝ නිලින් හෝ මදටියෙන් හෝ අතිශයින් මට්ටම්වූ පුවරුවෙක හෝ බිත්තියෙක හෝ රෙදිපටෙක හෝ සියලු අඟපසඟින් යුත් ස්ත්‍රී රූපයක් හෝ පුරුෂ රූපයක් හෝ මනාකොට මවන්නේ ද, මහණෙනි, එපරිද්දෙන්ම ඇසූ පිරූ තැන් නැත්තාවූ පෘථග්ජන තෙම උපදවන්නේ රූපයම උපදවයි. උපදවන්නේ වේදනාවම උපදවයි. උපදවන්නේ සංඥාවම උපදවයි. උපදවන්නේ සංස්කාරයන්ම උපදවයි. උපදවන්නේ විඥානයම උපදවයි.

“මහණෙනි, ඒ කුමැයි සිතන්නෙහිද? රූපය නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේද?... ‘ස්වාමීනි, අනිත්‍යය.’

“යමක් වනාහි අනිත්‍ය වේද, එය දුක් හෝ සැප හෝ වේද?... ස්වාමීනි, දුකය

“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, පෙරලෙන ස්වාභාවය ඇත්තේද, එය ‘මේ රූපය මාගේය, මේ මම වෙමි. මේ මාගේ ආත්ම’යයි ඒ රූපය (දෘෂ්ටි වශයෙන්) දක්නට සුදුසුද?...” “ස්වාමීනි, මේ සුදුසු නොවේමය”

“මහණෙනි, වේදනා තොමෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?...” “ස්වාමීනි, අනිත්‍යය”

“යම් වේදනාවක් තොමෝ අනිත්‍ය වේද, ඒ දුක් හෝ සැප හෝ වේද?” “ස්වාමීනි දුක් වෙයි.”

“යමක් වනාහි අනිත්‍ය වේද, දුක් වේද, පෙරලෙන ස්වාභාවය ඇත්තේ වේද, ‘මේ වේදනාව මාගේය. මේ මම වෙමි. මේ මගේ ආත්මය’යයි ඒ වේදනාව දක්නට සුදුසුද?”... “ ස්වාමීනි, මේ සුදුසු නොවේමය.

“මහණෙනි සංඥා තොමෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?”...“ස්වාමීනි, අනිත්‍යය.”

“යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ සැප හෝ වේද?”... “ස්වාමීනි, දුක් වේ.”

“යමක් වනාහි අනිත්‍ය වේද, දුක් වේද, පෙරලෙන ස්වාභාවය ඇත්තේ වේද, ‘මේ සංඥාව මාගේය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය’යි ඒ සංඥාව දක්නට සුදුසු වේද?...“ස්වාමීනි, මෙය සුදුසු නොවේමය.”

“මහණෙනි සංස්කාරයෝ නිත්‍ය හෝ අනිත්‍ය වේද?”... “ස්වාමීනි, අනිත්‍යය.”

“යමක් වනාහි අනිත්‍ය නම් ඒ දුක් හෝ සැප වේද?”... “ස්වාමීනි, දුක් වේ.”

“යමක් වනාහි අනිත්‍ය වේද, දුක් වේද, පෙරලෙන ස්වාභාවය ඇත්තේ වේද, ‘මේ සංස්කාරයන් මාගේය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය’යි ඒ සංස්කාරයන් දක්නට සුදුසු වේද?...“ස්වාමීනි, මෙය සුදුසු නොවේමය.”

“මහණෙනි විඥානය නිත්‍ය හෝ අනිත්‍ය වේද?”...“ස්වාමීනි, අනිත්‍යය.”

“යමක් වනාහි අනිත්‍ය නම් ඒ දුක් හෝ සැප වේද?”... “ස්වාමීනි, දුක් වේ.”

“යමක් වනාහි අනිත්‍ය වේද, දුක් වේද,පෙරලෙන ස්වාභාවය ඇත්තේ වේද,‘මේ විඥානය මාගේය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය”යි ඒ විඥානය දක්නට සුදුසු වේද?”...“ස්වාමීනි, සුදුසු නොවේමය.

“එහෙයින් මහණෙනි, තමා පිළිබඳවූ හෝ අනුන් පිළිබඳවූ හෝ මහත් සියුම්වූ හෝ හීනවූ හෝ උස්වූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, යම්කිසි රූපයෙක් වේද, දුරවූ හෝ ළඟවූ හෝ යම් රූපයෙක් වේද, ‘මේ රූපය මාගේ නොවේ, මේ මම නොවෙමි, මේ මාගේ ආත්මය නොවේ’යයි ඒ මේ සියලු රූපය මෙසේ තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දතයුතුය.

“තමා පිළිබඳවූ හෝ අනුන් පිළිබඳවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උසස්වූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද යම්කිසි වේදනාවක් වේද, දුරවූ හෝ ළඟවූ හෝ යම්කිසි වේදනාවක් වේද, ‘මේ වේදනා තොමෝ මාගේ නොවේ, මේ මම නොවෙමි, මේ මාගේ ආත්මය නොවේ’යයි ඒ මේ හැම වේදනාව මෙසේ තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය.

“තමා පිළිබඳවූ හෝ අනුන් පිළිබඳවූ හෝ මහත් වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උසස්වූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, යම්කිසි සංඥාවක් වේද, දුරවූ හෝ ළඟවූ හෝ යම් සංඥාවක් වේද, ‘මේ සංඥා තොමෝ මාගේ නොවේ, මේ මම නොවෙමි. මේ මාගේ ආත්මය නොවේ’යයි ඒ මේ සියලු සංඥාව මෙසේ තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දතයුතුය.

“තමා පිළිබඳවූ හෝ අනුන් පිළිබඳ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උසස්වූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, යම් සංස්කාරයෝ වෙද්ද, දුරවූ හෝ ළඟවූ හෝ යම් සංස්කාරයෝ වෙද්ද, මේ ‘සංස්කාර ස්කන්ධය මාගේ නොවේ, මේ මම නොවෙමි, මේ මාගේ ආත්මය නොවේ’යයි මෙසේ ඒ සියලු සංස්කාර ස්කන්ධය තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දතයුතුය.

“තමා පිළිබඳවූ හෝ අනුන් පිළිබඳවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උසස්වූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද යම්කිසි විඥානයෙක් වේද, දුරවූ හෝ ළඟවූ හෝ යම් විඥානයක් වේද, ‘මේ විඥානය මාගේ නොවේ, මේ මම නොවෙමි, මේ මාගේ ආත්මය නොවේ’යයි මෙසේ ඒ මේ හැම විඥානය තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දතයුතුය.

“මහණෙනි, මෙසේ දක්නාවූ ආර්යශ්‍රාවකතෙම රූපයෙහිද කලකිරෙයි, වේදනාවෙහිද කලකිරෙයි, සංඥාවෙහිද කලකිරෙයි, සංස්කාරයන්හිද කලකිරෙයි, විඥානයෙහිද කලකිරෙයි. කලකිරුණේ නොඇලෙයි, නොඇලීමෙන් (කෙලෙසුන්ගෙන්) මිදෙයි, මිදුනුකල්හි ‘මිදුණේ’ යයි දැනීම වෙයි. ඉපදීම ක්ෂය විය. මාර්ගබ්‍රහ්මචර්යාවෙහි හැසිර නිමවන ලද්දේය. කළයුතු දේ කොට නිමවන ලද්දේය. මේ ආත්මභාවයෙහි කළයුතු අනිකක් නැතැයි විශෙෂයෙන් දැනගනී.”

(අටවෙනි ගද්දුල සූත්‍රය නිමි.)