දීඝ නිකාය

පාඨික වර්ගය

34. දසුත්තර සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ චම්පා නම් නුවර සමීපයෙහි වූ ගර්ගරා නම් පොකුණු තෙර අසළ පන්සියයක් පමණවූ මහත් භික්ෂු සංඝයා හා සමග වාසය කළාහුය. එකල්හි ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙමේ “ඇවැත් මහණෙනි” කියා භික්ෂූන්ට කථාකළේය.

ඒ භික්ෂූන් වහන්සේලා “ආයුෂ්මතුන් වහන්සය”යි ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ. ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙමේ මේ සූත්‍රය වදාළේය.

“සියලු දුක් කෙළවර කිරීමෙන් නිවන් ලැබීම පිණිස විෂම ලොභය ආදි සියලු බැමි සිඳින්නාවූ දසුත්තර ධර්මය හෙවත් කරුණු එකේ පටන් දසයදක්වා ඇති ධර්මය දෙශනා කරමි.

එකො ධම්මො

ඇවැත්නි, එක ධර්මයක් බොහෝ උපකාර වන්නේය එක් ධර්මයක් වැඩිය යුත්තේය, එක් ධර්මයක් පිරිසිඳ දත යුත්තේය, එක් ධර්මයක් දුරුකට යුත්තේය, එක් ධර්මයක් පිරිහීම පිණිස පවත්නේය. එක් ධර්මයක් විශෙෂ ඵලයට පමුණුවන ස්වභාව ඇත්තේය, එක් ධර්මයක් දුකසේ අවබොධ කටයුත්තේය, එක් ධර්මයක් ඉපදවිය යුත්තේය, එක් ධර්මයක් විශෙෂයෙන් දතයුත්තේය, එක් ධර්මයක් ප්‍රත්‍යක්ෂ කටයුත්තේය.

“කවර නම් එක ධර්මයක් බොහෝ උපකාර ඇත්තේ වේද? කුශල ධර්මයන්හි අප්‍රමාද වීමයි, මේ එක ධර්මය බොහෝ උපකාර වන්නේය.

“කවර නම් එක ධර්මයක් වැඩිය යුත්තේද? සැපයෙන් යුක්තවූ කායගතාසතිය හෙවත් ශරීරය පිළිබඳ සිහියයි. මේ එක ධර්මය වැඩිය යුත්තේය, කවර නම් එක ධර්මයක් පිරිසිඳ දතයුත්තේද? කාමාදී කෙලෙස්වලට හා උපාදාන (දැඩි ගැනීම්වලට) යන්ට හේතුවූ ස්පර්ශයයි, මේ එක ධර්මය පිරිසිඳ දතයුත්තේය.

“කවර නම් එක ධර්මයක් දුරුකට යුත්තේද? මමය මාගේය යන අස්මි මානයයි මේ එක ධර්මය දුරුකට යුත්තේය.

“කවර නම් එක ධර්මයක් පිරිහීම පිණිස පවත්නේද? නුණුවණින් කල්පනා කිරීමය. මේ එක ධර්මය පිරිහීම පිණිස පවත්නේය.

“කවර නම් එක ධර්මයක් විශෙෂ ඵලයට පමුණුවන ස්වභාව ඇත්තේද? නුවණින් කල්පනා කිරීමය මේ එක ධර්මය විශෙෂ ඵලයට පමුණුවන ස්වභාව ඇත්තේය.

“කවර නම් එක ධර්මයක් දුකසේ අවබොධ කටයුත්තේද? ආනන්තරික චිත්ත සමාධිය (විදර්ශනාවට අනතුරුව ලැබෙන මාර්ගය) යි. මේ එක ධර්මය දුකසේ අවබෝධ කටයුත්තේය,

“කවර නම් එක ධර්මයක් ඉපදවිය යුත්තේද? ප්‍රත්‍යවෙක්ෂණ ප්‍රඥාවයි. (මාර්ගඵලාදිය සලකා බලන නුවණයි.) මේ එක ධර්මය ඉපදවිය යුත්තේය,

“කවර නම් එක ධර්මයක් විශෙෂ නුවණින් දතයුත්තේද? සියලු සත්වයන් ආහාරය නිසා පවත්නා බවයි. මේ එක ධර්මය විශෙෂ නුවණින් දතයුත්තේය.

“කවර නම් එක ධර්මයක් ප්‍රත්‍යක්ෂ කටයුත්තේද? නොසෙල්විය හැකි චිත්ත විමුක්තියයි කියන ලද අර්හත්ඵල විමුක්තියයි මේ එක ධර්මය ප්‍රත්‍යක්ෂ කටයුත්තේය.

“මෙසේ මේ දශ ධර්මයෝ වනාහි ස්වභාව වශයෙන් පවත්නාහුය. යම්බඳුයැයි වදාරණලද නම් එබඳු ස්වභාව ඇත්තාහුමය. වදාළ ක්‍රමයෙන් අන් පරිද්දකින් නොවන්නාහුය. තථාගතයන් වහන්සේ විසින් මනාකොට අවබෝධ කරණ ලද්දාහුය.

ද්වෙ ධම්මා

“ධර්ම දෙකක් බොහෝ උපකාර වන්නාහුය, ධර්ම දෙකක් වැඩිය යුත්තාහුය, ධර්ම දෙකක් පිරිසිඳ දතයුත්තාහුය, ධර්ම දෙකක් දුරුකට යුත්තාහුය, ධර්ම දෙකක් පිරිහීම පිණිස පවත්නාහුය, ධර්ම දෙකක් විශෙෂ ඵලයට පමුණු වන්නාහුය. ධර්ම දෙකක් දුකසේ අවබෝධ කට යුත්තාහුය. ධර්ම දෙකක් ඉපදවිය යුත්තාහුය. ධර්ම දෙකක් විශෙෂ නුවණින් දතයුත්තාහුය. ධර්ම දෙකක් ප්‍රත්‍යක්ෂ කළ යුත්තාහුය,

“කවර නම් ධර්ම දෙකක් බොහෝ උපකාර වන්නාහුද? සිහිය හා නුවණ යන දෙකය. මේ ධර්ම දෙක බොහෝ උපකාර වන්නාහුය.

“කවර නම් ධර්ම දෙකක් වැඩිය යුත්තාහුද? සමථය හා විදර්ශනාව යන දෙකය. මේ ධර්ම දෙක වැඩිය යුත්තාහුය.

“කවර නම් ධර්ම දෙකක් පිරිසිඳ දතයුත්තාහුද? නාමය හා රූපය යන දෙකය. මේ ධර්ම දෙක පිරිසිඳ දතයුත්තාහුය.

“කවර නම් ධර්ම දෙකක් දුරුකට යුත්තාහුද? අවිද්‍යාව හා භව ආශාව යන දෙකය. මේ ධර්ම දෙක දුරුකට යුත්තාහුය.

“කවර නම් ධර්ම දෙකක් පිරිහීම පිණිස පවත්නාහුද? අකීකරු බව හා පවිටු මිත්‍රයන් ඇති බව යන දෙකය. මේ ධර්ම දෙක පිරිහීම පිණිස පවත්නාහුය.

“කවර නම් ධර්ම දෙකක් ගුණ විශෙෂයට පමුණුවන ස්වභාව ඇත්තාහුද? කීකරු බව හා යහපත් මිත්‍රයන් ඇති බව යන දෙකය. මේ ධර්ම දෙක විශෙෂ භාගිය හෙවත් ගුණ විශෙෂයට පමුණුවන ස්වභාව ඇත්තාහුය.

“කවර ධර්ම දෙකක් දුකසේ අවබොධ කටයුත්තාහුද? සත්වයන්ගේ කෙලෙසීමට හේතු ප්‍රත්‍යය හා සත්වයින්ගේ පිරිසිදු බවට හේතු ප්‍රත්‍යය යන දෙකය. මේ ධර්ම දෙක දුකසේ අවබොධ කටයුත්තාහුය.

“කවර නම් ධර්ම දෙකක් ඉපදවිය යුත්තාහුද? ක්ෂයඥානයද, අනුත්පාද ඥාණයද යන දෙකය. මේ ධර්ම දෙක ඉපදවිය යුත්තාහුය.

“කවර නම් ධර්ම දෙකක් විශෙෂ නුවණින් දතයුත්තාහුද? සංඛත ධාතුවවූ පඤ්චස්කන්ධයද අසංඛත ධාතුවවූ නිර්වාණයද යන දෙකය, මේ ධර්ම දෙක විශෙෂ නුවණින් දතයුත්තාහුය.

“කවර නම් ධර්ම දෙකක් ප්‍රත්‍යක්ෂ කටයුත්තාහුද? විද්‍යා තුන හා රහත්ඵලය යන දෙකය. මේ ධර්ම දෙක ප්‍රත්‍යක්ෂ කටයුත්තාහුය.

“මෙසේ මේ විසිවැදෑරුම් ධර්මයෝ වනාහි ස්වභා වශයෙන් පවත්නාහුය. යම්බඳුයයි වදාරණ ලද්දනම් එබඳු ස්වභාව ඇත්තාහුය. වදාළ ක්‍රමයෙන් අන් පරිද්දකින් නොවන්නාහුය. තථාගතයන් වහන්සේ විසින් මනාකොට අවබෝධ කරණ ලද්දාහුමය.

තයො ධම්මා

“ධර්ම තුනක් බොහෝ උපකාර වන්නාහුය ධර්ම තුනක් වැඩිය යුත්තාහුය, පිරිසිඳ දතයුතු ධර්ම තුණක් ඇත්තාහුය, දුරුකටයුතු ධර්ම තුණක් ඇත්තාහුය, පිරිහීම පිණිස පවත්නා ධර්ම තුණක් ඇත්තාහුය, විශෙෂ ඵලයට පමුණුවන ස්වභාව ඇති ධර්ම තුණක් ඇත්තාහුය, දුකසේ අවබොධ කටයුතු ධර්ම තුණක් ඇත්තාහුය. ඉපදවිය යුතු ධර්ම තුණක් ඇත්තාහුය, විශෙෂ නුවණින් දතයුතු ධර්ම තුණක් ඇත්තාහුය, ධර්ම තුණක් ප්‍රත්‍යක්ෂ කටයුත්තාහුය,

“කවර නම් ධර්ම තුනක් බොහෝ උපකාර වන්නාහුද? සත්පුරුෂයන්ගේ ආශ්‍රය, බණ ඇසීම ධර්මයට අනුව පිළිපැදීම යන තුණය. මේ ධර්ම තුණ බොහෝ උපකාර වන්නාහුය.

“කවර නම් ධර්ම තුණක් වැඩිය යුත්තහුද? සමාධි තුණය. (එනම්) විතර්ක විචාර සහගත (ප්‍රථමධ්‍යාන) සමාධිය, විතර්ක නැති විචාරය පමණක් ඇති (ද්විතීයධ්‍යාන) සමාධිය, විතර්ක විචාර දෙකම නැති (තෘතීය, චතුර්ථ, පඤ්චම ධ්‍යාන) සමාධිය යන තුනය, මේ ධර්ම තුණ වැඩිය යුත්තාහුය,

“කවර නම් ධර්ම තුණක් පිරිසිඳ දතයුත්තාහුද? වේදනා තුනය, (එනම්) සුඛවෙදනාවය, දුක් වෙදනාවය, දුක් සැප නැති (උපෙක්ෂා) වෙදනාවය යන තුනය මේ ධර්ම තුණ පිරිසිඳ දතයුත්තාහුය.

“කවර නම් ධර්ම තුනක් දුරුකටයුත්තාහුද? තුන් වැදෑරුම් තෘෂ්ණාවය, එනම් කාමතෘෂ්ණාවය, භවතෘෂ්ණාවය, විභවතෘෂ්ණාවය යන තුනය. මේ ධර්ම තුන දුරුකට යුත්තාහුය.

“කවර නම් ධර්ම තුනක් පිරිහීම පිණිස පවත්නාහුද? අකුසල් මුල් තුණය, (එනම්) ලොභ අකුසලමූලය, දොස අකුසලමූලය, මොහ අකුසලමූලය, යන මේ ධර්ම තුන පිරිහීම පිණිස පවත්නාහුය. (අපායගාමී වන්නාහුය.)

“කවරනම් ධර්ම තුනක් විශෙෂ භාගී (ගුණ විශෙෂයට පමුණුවන්නෝ) වෙත්ද? කුසල් මුල් තුණය. (එනම්) අලොභ කුසලමූලය, අදොස කුසලමූලය, අමොහ කුසලමූලය යන තුනය. මේ ධර්ම තුණ විශෙෂභාගී වන්නාහුය.

“කවර නම් ධර්ම තුනක් දුකසේ අවබොධ කටයුත්තාහුද? තුන් වැදෑරුම් නිඃශරණ ධාතු (එතරවීම්) තුනය. කාමයන්ගෙන් එතෙරවීමයයි කියන ලද අනාගාමීමාර්ගය, රූපයන් ගෙන් එතරවීමයයි කියන ලද අර්හත්මාර්ගය, සියලු සංස්කාරයන්ගෙන් එතරවීමයැයි කියන ලද අර්හත්ඵලය යන මේ තුනය. මේ ධර්ම තුණ දුකසේ අවබොධ කටයුත්තාහුය.

“කවර නම් ධර්ම තුනක් ඉපදවිය යුත්තාහුද? තුන් වැදෑරුම් ඥාණයෝය, අතීත ස්කන්ධ කොටස් දන්නා නුවණය, වර්තමාන ස්කන්ධ කොටස් දන්නා නුවණය, අනාගත ස්කන්ධ කොටස් දන්නා නුවණය යන මේ ධර්මතුන ඉපදවිය යුත්තාහුය.

“කවර නම් ධර්ම තුනක් විශෙෂ නුවනින් දතයුත්තාහුද? තුන් වැදෑරුම් ධාතූහුය. කාමධාතුය, රූපධාතුය, අරූපධාතුය යන තුනය. මේ ධර්ම තුන ඉතා විශෙෂ නුවණින් දත යුත්තාහුය.

“කවර නම් ධර්ම තුනක් ප්‍රත්‍යක්ෂ කටයුත්තාහුද? තුන් වැදෑරුම් විද්‍යාවෝය. පෙර විසූ ස්කන්ධයන් දන්නා නුවණ නමැති විද්‍යාවය, සත්වයන්ගේ චුති උත්පත්ති දන්නා නුවණ නමැති විද්‍යාවය, ආශ්‍රවයන් ක්ෂය කරන නුවණ නමැති විද්‍යාවය යන තුනය. මේ ධර්ම තුන ප්‍රත්‍යක්ෂ කටයුත්තාහුය.

“මෙසේ එකාන්තයෙන් විද්‍යමානවූ ඇත්තාවූ එසේම වන්නාවූ වෙනස් නොවන්නාවූ අන් ආකාරයකින් නොවන්නාවූ මේ තිස් ධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් යහපත්කොට අවබොධ කරණ ලද්දාහුමය.

චත්තාරො ධම්මා

“ධර්මසතරක් බොහෝ උපකාරවන්නාහුය. ධර්මසතරක් වැඩිය යුත්තාහුය. ධර්ම සතරක් පිළිසිඳ දතයුත්තාහුය. ධර්ම සතරක් පහකළ යුත්තාහුය. ධර්ම සතරක් පිරිහීම පිණිස පවත්නාහුය. ධර්ම සතරක් විශෙෂ ගුණ පිණිස පවත්නාහුය. ධර්ම සතරක් දුකසේ අවබොධ කටයුත්තාහ. ධර්ම සතරක් ඉපදවිය යුත්තාහ. ධර්ම සතරක් ප්‍රත්‍යක්ෂ කටයුත්තාහුය.

“කවර නම් ධර්ම සතරක් බොහෝ උපකාර වන්නාහුද? චක්‍ර හතරය (එනම්) සුදුසු ප්‍රදෙශයෙහි වාසය කිරීමය, සත්පුරුෂයන් සෙවනය කිරීමය, තමා හොඳ මගෙහි පිහිටීමය. පෙර කළ පින් ඇති බවය යන මේ සතර ධර්මයෝ බොහෝ උපකාර වන්නාහුය.

“කවර නම් සතර ධර්මයක් වැඩිය යුත්තාහුද? සතර සතිපට්ඨාන ධර්මයෝය. එනම් ඇවැත්නි, මේ සස්නෙහි මහණ තෙමේ තම ශරීරයෙහි ශරීරය අනුව දක්නා ස්වභාව ඇතිව පඤ්චස්කන්ධයෙහි ඇලීම හා කිපීම දුරුකොට කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව යහපත් නුවණින් යුක්ත වූයේ සිහියෙන් වාසය කරයි.

“ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්යය ඇතුව, යහපත් ප්‍රඥා ඇතුව සිහියෙන් යුක්තව වේදනාවන්හි ලොභයද කරන ක්‍රොධයද සංසිඳුවාගෙන වේදනාවන්හි වේදනා අනුව දක්වා ස්වභාව ඇතිව වාසය කරයි.

ඇවැත්නි, මේ ශාසනයෙහි මහණ තෙම කෙලෙස් තවන වීර්යය ඇතුව, යහපත් ප්‍රඥාව ඇතුව, සිහියෙන් යුක්තව, සිතෙහි ලොභයද, ක්‍රොධයද සංසිඳුවාගෙන සිතෙහි සිත අනුව දක්නා ස්වභාව ඇතුව වාසය කරයි.

“ධර්මයන්හි ධර්මයන් අනුව දකින ස්වභාව ඇත්තේ පඤ්චස්කන්ධ ලොකයෙහි ලොභ දොස දෙදෙන දුරුකොට කෙලෙස් තවන වීර්යයෙන් හා හොඳ නුවණින් යුක්තව සිහි ඇතිව වාසය කරයි. මේ සතිපට්ඨාන ධර්ම සතර වැඩිය යුත්තාහුය.

“කවර නම් ධර්ම සතරක් පිරිසිඳ දතයුත්තාහුද? ඔලාරිකවූ හෝ සියුම්වූ හෝ පිඩුකොට බුදින්නාවූ කබලිඩ්කාර ආහාරයය. දෙවැනිවූ ස්පර්ශ ආහාරයය. තුන්වැනිවූ මනො සඤ්චෙතන ආහාරයය. සතරවැනිවූ විඥාන ආහාරයය යන මේ සතර ධර්මයෝ පිරිසිඳ දතයුත්තාහුය.

“කවර නම් ධර්ම සතරක් දුරු කටයුත්තාහුද? ඔඝ හෙවත් සැඩපහර සතරය. කාම ඔඝය (කාම නමැති සැඩපහර) භව ඔඝය, දෘෂ්ටි ඔඝය, අවිද්‍යාඔඝය, යන ධර්ම සතර දුරුකට යුත්තාහුය.

“කවර නම් ධර්ම සතරක් පිරිහීම පිණිස පවත්නාහුද? යෝග හතරය, කාමයෝගය, භවයෝගය, දෘෂ්ටියොගය, අවිද්‍යායෝගය යන මේ සතර ධර්මයෝ පිරිහීම පිණිස පවත්නාහුය.

“කවර නම් ධර්ම සතරක් ගුණ විශෙෂයට පමුණුවන්නෝද? මිදීම් සතරය. කාමයෝගයෙන් මිදීමය, භවයෝගයෙන් මිදීමය. දෘෂ්ටියෝගයෙන් මිදීමය. අවිද්‍යායෝගයෙන් මිදීමය යන මේ සතර ධර්මයෝ ගුණ විශෙෂයට පමුණුවන ස්වභාව ඇත්තාහුය. කවර නම් ධර්ම සතරක් දුකසේ අවබොධ කටයුත්තාහුද? සමාධි (සිත එකඟකිරීම්) සතරය. හානභාගිය සමාධිය, ඨිතිභාගිය සමාධිය, විශෙෂ භාගිය සමාධිය, නිර්වෙද භාගිය සමාධිය, යන මේ සමාධි සතර දුකසේ අවබොධ කටයුත්තාහුය.

“කවර නම් ධර්ම සතරක් ඉපදවිය යුත්තාහුද? ඥාන සතරය. ධර්මයෙහි ඤාණය (චතුස්සත්‍යය දක්නාවූ මාර්ගඥාන හා ඵල ඥාන,) අන්වයෙහි ඤාණය (චතුස්සත්‍යය දක්නාවූ ඥානය,) පරිච්ඡෙදයෙහි ඤාණය (අනුන්ගේ සිත් පිරිසිඳ දැන ගන්නා ඥානය,) සම්මුතියෙහි ඤාණය (අවශෙෂ ඥාන) යන සතරය. මේ සතර ධර්මයෝ ඉපදවිය යුත්තාහුය.

“කවර නම් ධර්ම සතරක් විශෙෂ නුවණින් දතයුත්තාහුද? සතර ආර්‍ය්‍යසත්‍යයෝය. දුක්ඛ ආර්‍ය්‍යසත්‍යය, දුක්ඛසමුදය ආර්‍ය්‍ය සත්‍යය, දුක්ඛනිරොධආර්‍ය්‍ය සත්‍යය, දුක්ඛනිරොධ ගාමිණී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යය යන මේ සතරය. මේ ධර්ම සතර විශෙෂ නුවණින් දතයුත්තාහුය.

“කවර ධර්ම සතරක් අවබොධ කටයුත්තාහුද? ශ්‍රමණඵල (මහණකමෙහි ඵල) හතරය. සෝවාන්ඵලය, සකෘදාගාමි ඵලය, අනාගාමිඵලය, අර්හත්ඵලය යන සතරය. මේ සතර ඵල ධර්ම අවබොධ කටයුත්තාහුය.

“මෙසේ පැහැදිලිවූ සත්‍යවූ එසේම වන්නාවූ, වෙනස් නොවන්නාවූ අන් ආකාරයකින් නොවන්නාවූ මේ සතළිස් වැදෑරුම් ධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් මනාව අවබොධ කරණ ලද්දාහුය.

පඤ්ච ධම්මා

“ධර්ම පහක් බොහෝ උපකාර වන්නාහුය. ධර්ම පහක් පිරිසිඳ දතයුත්තාහ, ධර්ම පහක් දුරු කටයුත්තාහ, ධර්ම පහක් පිරිහෙන ස්වභාව ඇත්තාහ. ධර්ම පහක් විශෙෂ ඵලයට පමුණුවන ස්වභාව ඇත්තාහ, ධර්ම පහක් දුකසේ අවබොධ කටයුතු වන්නාහ, ධර්ම පහක් ඉපදවිය යුත්තාහ, ධර්ම පහක් විශෙෂ නුවණින් දතයුත්තාහ, ධර්ම පහක් තමාම දැකීමෙන් පැහැදිලි කටයුත්තාහුය.

“කවර නම් ධර්ම පහක් බොහෝ උපකාර වන්නාහුද? ප්‍රධානියාංග (වීර්යයකරන මහණහුගේ) අංග පසය, ඇවැත්නි, මේ සස්නෙහි මහණ තෙමේ ශ්‍රද්ධාව ඇත්තෙක් වේද? ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙනුදු අර්හත් නම්යහ. සම්‍යක්සම්බුද්ධ නම්යහ. අෂ්ටවිද්‍යා පසළොස් චරණ ධර්මයන් ගෙන් යුක්තයහ (යහපත් ගති ඇති හෙයින්) සුගත නම්යහ. (සියලු ලොව දන්නා හෙයින්) ලොකවිදූ නම්යහ. (ඉන් වැඩි උසස් කෙනෙක් නැති හෙයින්) අනුත්තර නම්යහ. (දමනය නොකට හැකි පුරුෂයන් දමනය කරන හෙයින්) පුරුෂ දම්‍ය සාරථි නම්යහ. (දෙවි මිනිසුන්ට අනුශාසනා කරන හෙයින්) ශාස්තෘ නම්යහ. (චතුරාර්‍ය්‍ය සත්‍යය අවබොධ කළ හෙයින්) බුද්ධ නම්යහ. (රාගාදිය විනාශ කළ හෙයින්) භාග්‍යවත් නම් වන සේකැයි තථාගතයන් වහන්සේගේ සම්‍යක් සම්බොධිය අදහන්නෙක් වෙයි, ආබාධ රහිතයෙක් වෙයි, රොග රහිතයෙක් වෙයි. ඉතා සිසිල් නුවූ ඉතා උණුසුම් නුවූ, මධ්‍යමවූ, වීර්යය වැඩීමට යොග්‍යවූ සමට ආහාර දිරවන ගින්නෙන් යුක්ත වූයේ වෙයි. ශාස්තෲන් වහන්සේ කෙරෙහි හෝ නුවණැති සබ්‍රම්සරුන් (එකට වාසයකරන භික්ෂුන්) කෙරෙහි හෝ තමා පිළිබඳ කරුණු ඇතිසැටියෙන් ප්‍රකාශකරන, කපටි නොවූ රැවටිලි නැත්තෙක් වෙයි. අකුශල දුරුකිරීම පිණිසත් කුසලධර්මයන් ඉපදවීම පිණිසත් ශක්තිමත්ව බලවත් උත්සාහයෙන් යුක්තව කුසල ධර්මයෙහි අත්නොහරිනලද වීර්යය ඇතිව පටන්ගන්නාලද වීර්යය ඇත්තෙක් වෙයි. උතුම්වූ, කලකිරීම් ඇතිකරන්නාවූ, මනාකොට දුක් නැතිකිරීමට පමුණුවන්නාවූ උදයත්ථගාමිනි (ඇතිවීම හා නැතිවීම දන්නා) විදර්ශනා ප්‍රඥාවෙන් යුක්තවූවෙක් වන්නේය. මේ පස්වැදෑරුම් ධර්මයෝ බොහෝ උපකාරවන්නාහුය.

“කවර නම් ධර්ම පසක් වැඩිය යුත්තාහුද? අංග පසකින් යුත් සම්‍යක් සමාධියය, ප්‍රීති ස්ඵරණතාවය (ප්‍රීතිය පතුරුවමින් පහළවන ප්‍රථම ද්විතී ධ්‍යාන දෙක්හි ප්‍රඥාවය) සුඛස්ඵරණ තාවය (සැප පතුරුවමින් පහලවන ප්‍රථම ද්විතීය තෘතීය ධ්‍යානයන්හි ප්‍රඥාවය) චෙතස්ඵරණතාවය (පරසිත් දන්නා නුවණ) ආලොක ස්ඵරණ තාවය (දිවසැප) ප්‍රත්‍යවේක්ෂණ නිමිත්තය (සලකා බලන නුවණ) යන මේ ධර්මපස වැඩිය යුත්තාහුය.

“කවර නම් ධර්ම පසක් පිරිසිඳ දත යුත්තාහුද? උපාදාන ස්කන්ධ පසය, ඒ කවරහුද? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදාන ස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. මේ ධර්ම පස පිරිසිඳ දත යුත්තාහුය.

“කවර නම් ධර්ම පසක් දුරු කටයුත්තාහුද? නීවරණ ධර්ම පසය, කාමච්ඡන්ද නීවරණය, ක්‍රොධ නීවරණය, ථීනමිද්ධ නීවරණය, උද්ධච්ච කුක්කුච්ච නීවරණය, විචිකිච්ඡා නීවරණය යන මේ ධර්ම පස දුරු කටයුත්තාහ.

“කවර නම් ධර්ම පසක් පිරිහීම පිණිස වන්නාහුද, පස්වැදෑරුම් චේතොඛිල (සිතෙහි නැනෙන උල් වැනි) ධර්මයෝයි.

“ඇවැත්නි, මේ සස්නෙහි මහණ තෙමේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි සැක කෙරේද කුකුස් උපදවාද නිශ්චය නොකෙරේද නොපහදීද බැසනොගනීද ඇවැත්නි, යම් භික්ෂුවක් ශාස්තෲන්වහන්සේ කෙරෙහි සැක කෙරේද, කුකුස් උපදවාද, නිශ්චය නොකෙරේද, නොපහදීද, බැසනොගනීද ඔහුගේ සිත කෙලෙස් තැවීම පිණිස, (භාවනාවෙහි) නැවත නැවත යෙදීම පිණිස, නිතර වීර්යය කිරීම පිණිස උතුම් වීර්යය පිණිස නොනැමෙන්නේය. යමෙකුගේ කෙලෙස් තැවීම පිණිස (භාවනාවෙහි) නැවත නැවත යෙදීම පිණිස, නිතර කිරීමෙන් උතුම් වීර්යය පිණිස සිත නොනැමෙන්නේ වේද මේ පළමුවෙනි චෙතොඛිලය (සිතෙහි ඇනී තිබෙනඋල)යි.

“ඇවැත්නි, නැවතද භික්ෂු තෙමේ ධර්මයෙහි සැක කෙරේද කුකුස් උපදවාද, නිශ්චය නොකෙරේද, නොපහදීද, බැස නොගනීද ඔහුගේ සිත කෙලෙස් තැවීම පිණිස, (භාවනාවෙහි) නැවත නැවත යෙදීම පිණිස, නිතර වීර්යය කිරීම පිණිස, උතුම් පිණිස නොනැමෙන්නේය. යමෙකුගේ කෙලෙස් තැවීම පිණිස (භාවනාවෙහි) නැවත නැවත යෙදීම පිණිස, නිතර වීර්‍ය්‍යකිරීම පිණිස, සිත නොනැමෙන්නේ වේද, මේ දෙවන චෙතොඛිලය වන්නේය.

“සංඝයා කෙරෙහි සැක කෙරේද, කුකුස් උපදවාද, නිශ්චය නොකෙරේද, නොපහදීද, බැසනොගනීද ඔහුගේ සිත කෙලෙස් තැවීම පිණිස, (භාවනාවෙහි) නැවත නැවත යෙදීම පිණිස, නිතර වීර්‍ය්‍ය කිරීම පිණිස, උතුම් වීර්‍ය්‍ය පිණිස සිත නොනැමෙන්නේය. යමෙකුගේ කෙලෙස් තැවීම පිණිස, (භාවනාවෙහි) නැවත නැවත යෙදීම පිණිස, නිතර වීර්‍ය්‍යය පිණිස සිත නොනැමෙන්නේද මේ තුන්වන වෙතොඛීලය වන්නේය.

ශික්ෂාවෙහි සැක කෙරේද, කුකුස් කෙරේද, නිශ්චය නොකෙරේද, නොපහදීද, ඔහුගේ සිත කෙලෙස් තැවීම පිණිස, නිතර වීර්‍ය්‍ය කිරීම පිණිස, උතුම් වීර්‍ය්‍යය පිණිස නොනැමෙන්නේය, යමෙකුගේ කෙලෙස් තැවීම පිණිස (භාවනාවෙහි) නැවත නැවත යෙදීම පිණිස, නිතර වීර්‍ය්‍යය කිරීම පිණිස, උතුම් වීර්‍ය්‍යය පිණිස සිත නොනැමෙන්නේද මේ සතරවන චෙතොඛිලයයි.

“සබ්‍රම්සරුන් (එකට වසන භික්ෂූන්) කෙරෙහි කිපි සිත් ඇත්තේ, නොසතුටු සිත් ඇත්තේ වේද, උල් වැනි සිත් ඇත්තේද ක්‍රොධයෙන් යුත් සිත් ඇත්තේ ඔහුගේ සිත කෙලෙස් තැවීම පිණිස, (භාවනාවෙහි) නැවත නැවත යෙදීම පිණිස, නිතර වීර්යය කිරීම පිණිස, උතුම් වීර්යය පිණිස නොනැමේද මේ පස්වෙනි චේතොඛීලයයි. මේ ධර්ම පස පිරිහීම පිණිස පවත්නාහුය.

“කවර නම් ධර්ම පසක් විශෙෂ ගුණය පිණිස පවත්නාහුද? ඉන්ද්‍රිය පසය. ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීර්යය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය යන මේ ධර්ම පස විශෙෂ ගුණයට පැමිණීම පිණිස වන්නාහුය.

“කවර නම් ධර්ම පසක් දුකසේ අවබොධ කටයුත්තාහුද? පස්වැදෑරුම් නිස්සරණිය (නික්මීම්) ධාතුහුය. ඇවැත්නි, මේ ලෝකයෙහි කාමයන් මෙනෙහි කරන්නාවූ භික්ෂුහුගේ සිත ඒ කාමයන්හි පෙරටුව ගමන් නොකරන්නේද, නොපහදින්නේද, රඳා නොසිටින්නේද, නොබැසගන්නේද, නෛෂ්ක්‍රම්‍යය (කාමයෙන් වෙන්වූ ධ්‍යානය) මෙනෙහි කරන්නාවූ භික්ෂුහුගේ සිත නෛෂ්ක්‍රම්‍යයෙහි පෙරටුව ගමන්කරන්නේද, පහදින්නේද, රඳා සිටින්නේද, බැසගන්නේද, ඔහුගේ ඒ සිත යහපත් අරමුණට පැමිණියේය. මනාව වඩන ලද්දේය. මනාව නැගීසිටියේය. කාමයන්ගෙන් මනාව මිදුනේ වෙන්වූයේ කාමයන් හේතුකොටගෙන දුක්සහිතවූ දැවිලි සහිතවූ යම්බඳු කෙලෙස් කෙනෙක් උපදිත්ද ඒ භික්ෂු තෙමේ ඒ කාමයන්ගෙන් මිදුනේවේ. හෙතෙමේ ඒ වේදනාව නොවිඳින්නේය. මෙය නිස්සරණය (එතරවීම) යයි කියනු ලැබේ.

“ඇවැත්නි, නැවතද ව්‍යාපාදය (ක්‍රොධය) මෙනෙහි කරන්නාවූ භික්ෂුහට ව්‍යාපාදයෙහි සිත පෙරටුව ගමන් නොකරන්නේද, නොපහදින්නේද, රඳා නොසිටින්නේද, නොබැසගන්නේනේද, අව්‍යාපාදය (මෛත්‍රී ධ්‍යානය) මෙනෙහි කරන්නාවූ ඔහුගේ සිත අව්‍යාපාදයෙහි පෙරටුව යන්නේද, පහදින්නේද, රඳා සිටින්නේද, බැසගන්නේද ඔහුගේ ඒ සිත යහපත් අරමුණට පැමිණියේය. මනාව වඩන ලද්දේය. ව්‍යාපාදයෙන් මනාව නැගිටියේය. මනාව මිදෙන ලද්දේ ව්‍යාපාදයෙන් වෙන් වූයේය. ව්‍යාපාදය හේතුකොටගෙන දුක් සහිතවූ දැවීම් සහිතවූ යම්බඳු කෙලෙස් කෙනෙක් උපදිත්ද හෙතෙමේ ඒ ක්ලෙශයන්ගෙන් මිදුනේ වේ. හෙතෙමේ ඒ වේදනාව නොවිඳින්නේ වේ. මෙය ව්‍යාපාදයාගේ නිස්සරණය (එතර වීම) යයි කියන ලද්දේය.

“ඇවැත්නි, නැවතද විහේසය (හිංසා කිරීම) මෙනෙහි කරන්නාවූ භික්ෂුවහට විහේසය පිණිස සිත පෙරටුව ගමන් නොකරන්නේද. නොපහදින්නේද. රඳා නොසිටින්නේද. බැසනොගන්නේද. අවිහේසය (කරුණාධ්‍යනය) වනාහි මෙනෙහි කරන්නාවූ ඔහුගේ සිත අවිහේසය පිණිස පෙරටුව ගමන්කරන්නේද. පහදින්නේද, රඳාසිටින්නේද, මිදෙන්නේද, ඔහුගේ ඒ සිත යහපත් අරමුණට පැමිණියේය. වඩන ලද්දේය. මනාව නැගී සිටියේය. විහේසයෙන් මිදුනේ විහේසයෙන් වෙන් වූයේ වෙයි. විහේසය හේතුකොට ගෙන දුක් සහිතවූ දැවීම් සහිතවූ යම්බඳු කෙලෙස් කෙනෙක් උපදිත්ද හෙතෙමේ ඒ කෙලෙසුන්ගෙන් මිදුනේවේ. හෙතෙමේ ඒ කෙලෙසුන්ගෙන් මිදුනේවේ. හෙතෙමේ එම වේදනාව නොවිඳින්නේ වේ. මේ විහේසයාගේ නිස්සරණයයි කියන ලද්දේය.

“ඇවැත්නි, නැවතද රූපය මෙනෙහි කරන්නාවූ භික්ෂුවහට රූපයන්හි සිත පෙරටුව ගමන් නොකරන්නේද, නොපහදින්නේද, රඳා නොසිටින්නේද, නොබැසගන්නේද, අරූප ධ්‍යානය මෙනෙහිකරන්නාවූ ඔහුට වනාහි අරූපයෙහි සිත පෙරටුව යන්නේද, පහදින්නේද, රඳා සිටින්නේද, බැසගන්නේද, ඔහුගේ ඒ සිත යහපත් අරමුණට පැමිණියේ මනාව වඩනා ලද්දේය. මනාව නැඟී සිටියේය, රූපයන්ගෙන් මනාව මිදුනේ වෙයි, වෙන්වූයේ වෙයි, රූපය හේතුකොටගෙන දුක් සහිතවූ දැවීම් සහිතවූ යම් ඒ කෙලෙස් කෙනෙක් උපදිත්ද හෙතෙමේ ඒ කෙලෙසුන්ගෙන් මිදුණේවේ, ඒ වේදනාව නොවිඳින්නේය, මෙය රූපයන්ගේ නිස්සරණයයි කියන ලද්දේය.

“ඇවැත්නි, නැවතද උපාදානස්කන්ධ පස මෙනෙහි කරන්නාවූ භික්ෂුවගේ සිත උපාදානස්කන්ධයෙහි පෙරටුව නොයන්නේද, නොපහදින්නේද, රඳා නොසිටින්නේද, අර්හත්ඵල සමාධිය මෙනෙහි කරන්නාවූ ඔහුගේ සිත උපාදානස්කන්ධ නිරෝධයෙහි පෙරටුව යන්නේද, පහදින්නේද, රඳා සිටින්නේද, බැසගන්නේද, ඔහුගේ ඒ සිත යහපත් අරමුණට පැමිණියේය, මනාව වඩන ලද්දේය, මනාව නැගී සිටියේය, උපාදානස්කන්ධ පඤ්චකයෙන් මනාව මිදෙන ලද්දේ වෙන්වන ලද්දේය. උපාදානස්කන්ධ පස හේතුකොටගෙන දුක් සහිතවූ දැවිලි සහිතවූ යම් කෙලෙස් කෙනෙක් උපදිත්ද හෙතෙමේ ඔවුන්ගෙන් මිදුනේ වේ. හෙතෙමේ ඒ වේදනාව නොවිඳින්නේය. මේ උපාදානස්කන්ධ පඤ්චකයාගේ නිස්සරණය (එතර වීම) යයි කියන ලද්දේය. මේ ධර්ම පස දුකසේ අවබෝධ කටයුත්තාහුය.

“කවර නම් ධර්ම පසක් ඉපදවිය යුත්තාහුද? පඤ්චඥානික සම්‍යක් සමාධියය. (ඥාන පසක් ඇති සම්‍යක් සමාධිය) මේ සමාධිය මේ ආත්මයෙහි සැපද මතු සැප විපාකද ඇත්තේ තමා තුළම ඥානය (දැනීම) ඇති වෙයි. මේ සමාධිය (කෙලෙස් වලින් දුරුවූ හෙයින්) ආර්‍ය්‍යයයිද තණ්හාවෙන් දුරුවූ හෙයින් යයි නිරාමිෂයයිද තමා තුළම දැනීම ඇතිවෙයි. මේ සමාධිය උතුම් පුරුෂයන් විසින් සේවනයකරන ලද්දේයයි තමන් තුළම දැනීම ඇති වෙයි, මේ සමාධිය සාන්තය, ප්‍රණීතය, සංසිඳීමෙන් ලබන ලද්දේය. එකඟබවෙන් ලබන ලද්දේය. උත්සාහයෙන් නිග්‍රහකොට ක්ලෙශයන් වළක්වා ලබන ලද්දක් නොවේ යයි තමා තුළම දැනීම ඇතිවෙයි. ඒ මම වනාහි මේ සමාධියට සිහි ඇත්තේම සමවදිමි. සිහි ඇත්තේම එයින් නැගිටිමියි තමන් තුළම දැනීම ඇතිවෙයි. මේ ධර්ම පස ඉපදවිය යුත්තාහ.

“කවර නම් ධර්ම පසක් යහපත් නුවණින් දතයුත්තාහුද? පස්වැදෑරුම් විමුක්ත්‍යායතනයෝය (මිදීමේ හෙතුය.) ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂුහට ශාස්තෲන් වහන්සේ හෝ ගරු තන්හි සිටියාවූ තෙරුන් වහන්සේ කෙනෙක් හෝ ධර්මය දෙශනා කරත්ද ඇවැත්නි, යම් යම් ආකාරයකින් භික්ෂුහට ශාස්තෲන්වහන්සේ හෝ ගරු තන්හි සිටියාවූ එක්තරා තෙර කෙනෙක් හෝ ධර්මය දෙශනා කරත්ද හෙතෙම ඒ ඒ ආකාරයෙන් ඒ ධර්මයෙහි අර්ථය දැන ගන්නේ වෙයිද, දෙශනා පාළිය දැන ගන්නේ වෙයිද අර්ථය දන්නාවූද දෙශනා පාළිය දන්නාවූද ඔහුට සතුට උපදියි. හටගත් සතුට ඇත්තහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ නාමකය සංසිඳෙයි. සංසිඳුනු නාමකය ඇත්තේ සැපය විඳියි, සැප ඇත්තහුගේ සිත එකඟ වෙයි, මේ පළමුවන විමුත්තයාතනය (මිදීමේ) හෙතුවයි.

“නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, භික්ෂුහට ශාස්තෲන් වහන්සේ හෝ ගරු තන්හි සිටියාවූ තෙරුන් වහන්සේ කෙනෙක් හෝ ධර්මය දෙශනා නොකරත්. එහෙත් හෙතෙම ඇසූ පරිදි, දැනගත් පරිදි, ධර්මය විස්තර වශයෙන් අනුන්ට දෙශනා කරයි.

“ඇවැත්නි, යම් යම් පරිද්දෙකින් භික්ෂු තෙම ඇසූ පරිදි දැනගත් පරිදි ධර්මය විස්තර වශයෙන් අනුන්ට දෙශනා කෙරේද ඒ ඒ පරිද්දෙන් හෙතෙම ඒ ධර්මයෙහි අර්ථය දැන ගන්නේත් වෙයි. දෙශනා පාළිය දැනගන්නේත් වෙයි. අර්ථය දැනගත්තාවූ දෙශනා පාළිය දැනගත්තාවූ ඔහුට සතුට උපදියි. සතුටු වූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ නාමකය සංසිඳෙයි. සංසිඳුනු නාමකය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත එකඟ වෙයි. මේ දෙවන විමුත්තායතනය (මිදීමේ) හේතුව යි.

“නැවත අනිකක්ද කියමි, ඇවැත්නි, භික්ෂුහට ශාස්තෲන් වහන්සේ හෝ ගරු තන්හි සිටියාවූ එක්තරා තෙර කෙනෙක් හෝ ධර්මය දෙශනාද නොකරත්, ඇසූ පරිදි උගත් පරිදි හෙතෙම ධර්මය විස්තර වශයෙන් අනුන්ට දෙශනාද නොකරයි. එහෙත් ඇසූ පරිදි, උගත් පරිදි ධර්මය විස්තර වශයෙන් සජ්ජායනා කරයි (නැවත නැවත කියයි.)

“ඇවැත්නි, යම් යම් පරිද්දකින් මහණ තෙම ඇසූ පරිදි ධර්මය විස්තරවශයෙන් සජ්ජායනා කරයිද ඒ ඒ පරිද්දෙන් හෙතෙම ඒ ධර්මයෙහි අර්ථය දැනගත්තේද, දෙශනා පාළිය දැන ගත්තේද වෙයි. අර්ථය දැනගත්තාවූද, දෙශනා පාළිය දැන ගත්තාවූද ඔහුට සතුට උපදියි. සතුටුවූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ නාමකය සංසිඳෙයි, සංසිඳුනු නාමකය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත එකඟ වෙයි. මේ තුන්වෙනි විමුත්තායතනය (මිදීමේ හෙතුව) යි.

“නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, භික්ෂූහට ශාස්තෲන් වහන්සේ හෝ ගරු තන්හි සිටියාවූ කිසියම් තෙර කෙනෙක් හෝ ධර්මදෙශනාද නොකරත්. ඒ භික්ෂුව ඇසූ පරිදි උගත් පරිදි ධර්මය විස්තර වශයෙන් අනුන්ට දෙශනාද නොකරයි. ඇසූ පරිදි උගත් පරිදි ධර්මය විස්තර වශයෙන් සජ්ජායනාද නොකරයි. එහෙත් ඇසූ පරිදි, උගත් පරිදි, ධර්මය සිතින් කල්පනා කරයි. විමසා බලයි, සලකා බලයි. ඇවැත්නි, යම් යම් පරිද්දෙකින් මහණතෙම ඇසූ පරිදි, උගත් පරිදි ධර්මය සිතින් කල්පනා කෙරේද විමසා බලාද, සලකා බලාද, ඒ ඒ පරිද්දෙන් හෙතෙම ඒ ධර්මයෙහි අර්ථය දැන ගත්තේද, දෙශනා පාළිය දැන ගත්තේද වෙයි, අර්ථය දැනගත්තාවූද, දෙශනා පාළිය දැනගත්තාවූද ඔහුට සතුට උපදියි. සතුටුවූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ නාමකය සංසිඳෙයි. සංසිඳුනු නාමකය ඇත්තේ සැපය විඳියි, සැප ඇත්තහුගේ සිත එකඟ වෙයි, මේ සතරවන විමුත්තායතනයයි.

“නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, භික්ෂුහට ශාස්තෲන් වහන්සේ හෝ ගරුතන්හි සිටියාවූ කිසියම් තෙරුන්වහන්සේ කෙනෙක් හෝ ධර්මය දෙශනාද නොකරත්. ඒ භික්ෂුව ඇසූ පරිදි, උගත් පරිදි, ධර්මය විස්තර වශයෙන් අනුන්ට දෙශනාද නොකරයි. ඇසූපරිදි, උගත්පරිදි, ධර්මය විස්තර වශයෙන් සජ්ජායනාද නොකරයි, ඇසූපරිදි උගත්පරිදි, ධර්මය සිතින් කල්පනාද නොකරයි. විමසාද නොබලයි, සලකාද නොබලයි. එහෙත් ඔහු විසින් එක්තරා සමාධිනිමිත්තක් (අටතිස් අරමුණුවලින් ලැබූ එක්තරා සමාධියක්) යහපත්ව ඉගෙනගන්නා ලද්දේද, යහපත්ව මෙනෙහි කරන ලද්දේද, යහපත්ව සිතින් දරණ ලද්දේද නුවණින් ප්‍රත්‍යක්ෂ කරන ලද්දේද වෙයි.

“ඇවැත්නි, යම් යම් පරිද්දකින් ඔහු විසින් එක්තරා සමාධි නිමිත්තක් හොඳින් උගන්නා ලද්දේ, හොඳින් මෙනෙහි කරන ලද්දේ, හොඳින් සලකා බලන ලද්දේ, ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂ කරන ලද්දේ වේද, ඒ ඒ පරිද්දෙන් හෙතෙම ඒ ධර්මයෙහි අර්ථය දැනගත්තේද දෙශනා පාළිය දැනගත්තේද වෙයි. අර්ථය දැනගත්තාවූද, දෙශනා පාළිය දැනගත්තාවූද, ඔහුට සතුටඋපදියි, සතුටුවූවහුට ප්‍රීතිය උපදියි, ප්‍රීතිසිත් ඇත්තහුගේ නාමකය සංසිඳේ, සංසිඳුණු නාම කය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත එකඟවෙයි. මේ පස්වන විමුත්තායතනයයි. මේ ධර්ම පස විශෙෂ නුවණින් දත යුත්තාහුය.

“කවර නම් ධර්ම පසක් තමාම දැනීමෙන් ප්‍රත්‍යක්ෂ කටයුත්තාහුද? පස්වැදෑරුම් ධර්මස්කන්ධයෝය. ශීලස්කන්ධය, සමාධිස්කන්ධය, ප්‍රඥාස්කන්ධය, විමුක්තිස්කන්ධය (ඵලඥාන,) විමුක්තිඥානදර්ශනස්කන්ධය (ප්‍රත්‍යවෙක්ෂා ඥාන) යන පසය, මේ ධර්ම පස තමාම දැකීමෙන් ප්‍රත්‍යක්ෂ කටයුත්තාහුය.

“මෙසේ මේ විද්‍යාමානවූ සත්‍යවූ එසේම වන්නාවූ වෙනස් නොවන්නාවූ අන් පරිද්දකින් නොවන්නාවූ ධර්ම පණස තථාගතයන් වහන්සේ විසින් මනාව අවබොධකරණ ලද්දාහුය.

ඡ ධම්මා

“ධර්ම සයක් බොහෝ උපකාර වන්නාහුය. ධර්ම සයක් වැඩිය යුත්තාහ, ධර්ම සයක් පිරිසිඳ දතයුත්තාහ, ධර්ම සයක් දුරුකටයුත්තාහ. ධර්ම සයක් පිරිහීමට පමුණුවන ස්වභාව ඇත්තාහ. ධර්ම සයක් ගුණ විශෙෂයට පමුණුවන ස්වභාව ඇත්තාහ. ධර්ම සයක් දුකසේ අවබොධ කටයුතු වන්නාහ. ධර්ම සයක් ඉපදවිය යුත්තාහ. ධර්ම සයක් විශෙෂ නුවණින් දත යුත්තාහ. ධර්ම සයක් තමාම දැකීමෙන් ප්‍රත්‍යක්ෂ කටයුතු වන්නාහුය.

“කවර නම් ධර්ම සයක් බොහෝ උපකාර වන්නාහුද? සාරණීය ධර්ම සයයි. සාරණීය ධර්මයෝ (සිහි කටයුතු ධර්ම) සදෙනෙක් වෙත්. ඇවැත්නි, මේ ශාසනයෙහි මහණහු විසින් මෛත්‍රිසහගත කායකර්මය, (කයින් කරන ක්‍රියා) එක්ව බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙන භික්ෂූන්ගේ ඉදිරියේද නොඉදිරියේද පවත්වන ලද්දේ වෙයිද, ප්‍රිය කරන්නාවූ ගරු කරන්නාවූ සිහි කටයුතුවූ මේ ධර්මයද සංග්‍රහය පිණිසද විවාද නොකිරීම පිණිසද නොවෙහෙසීම පිණිසද සමගිය පිණිසද, එක්වීම පිණිසද පවතියි.

“නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, භික්ෂූහු විසින් මෛත්‍රීසහගත වාක්කර්මය, (වචන) එක්ව බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන භික්ෂූන්ගේ ඉදිරියෙහිද නොඉදිරියේද පවත්වන ලද්දේ වෙයි, සිහිකටයුතුවූ ප්‍රිය කරන්නාවූ, ගරු කරන්නාවූ, මේ ධර්මයද සංග්‍රහය පිණිසද විවාද නොකිරීම පිණිසද නොවෙහෙසීම පිණිසද සමගිය පිණිසද එක්වීම පිණිසද පවතී.

“නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂුව විසින් මෛත්‍රී සහගත මනොකර්මය, (සිතන සිතිවිලි) එක්ව බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන භික්ෂූන්ගේ ඉදිරියෙහිද නොඉදිරියේද පවත්වන ලද්දේ වෙයිද ප්‍රියකරන්නාවූද ගරු කරන්නාවූ සිහි කටයුතුවූ මේ ධර්මයද සංග්‍රහය පිණිසද විවාද නොකිරීම පිණිසද නොවෙහෙසීම පිණිසද සමගිය පිණිසද එක්වීම පිණිසද පවතී.

“නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, භික්ෂුවට ධාර්මිකවූ, දැහැමින් ලැබුණු යටත්පිරිසෙයින් පාත්‍රයට ලැබුණාවූද යම් ඒ ලාභයෝ වෙත්ද, ඒ භික්ෂුව එබඳු ලාභ, එක්ව මහණදම් පුරණ සිල්වතුන් සමග බෙදා නොගෙන නොවළඳන්නෙක්, බෙදා සාධාරණකොට වළඳන්නෙක් වන්නේද සිහිකටයුතුවූ, ප්‍රිය කරන්නාවූ, ගරු කරන්නාවූ මේ ධර්මයද සංග්‍රහය පිණිසද අවිවාදය පිණිසද අවිහිංසාව පිණිසද සමගිය පිණිසද එක්වීම පිණිසද පවතියි.

“නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, මහණ තෙම කඩනොවූ සිදුරු නොවූ කබර නොවූ කැලැල් නොවූ තණ්හා දාස බැවින් මිදුනාවූ, නුවණැත්තන් විසින් පසස්නා ලද්දාවූ, තෘෂ්ණාදියෙන් නොබැඳුණු සමාධිය පිණිස පවත්නාවූ යම් මේ සීලයෝවෙත්ද එබඳු සීලයන්හි, එකට මහණදම් පුරණ භික්ෂූන් ඉදිරියෙහිද නොඉදිරියෙහිද සීලයෙන් සමාන බවට පැමිණ වාසය කරයිද ප්‍රිය කරන්නාවූ ගරු කරන්නාවූ සිහිකටයුතුවූ මේ ධර්මය ද සංග්‍රහය පිණිසද විවාද නොකිරීම පිණිසද නොවෙහෙසීම පිණිසද සමගිය පිණිසද එක්වීම පිණිසද පවතී.

“නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, මහණතෙම උතුම්වූද නිවණට පමුණුවන්නාවූද ඊට අනුව පිළිපදින්නහුගේ යහපත්ව දුක් නැතිකිරීම පිණිස පවත්නාවූද යම් ඒ දෘෂ්ටියක් ඇත්තීද, එබඳු දෘෂ්ටියෙන්, එකට මහණදම් පුරණ භික්ෂූන් ඉදිරියෙහිද නොඉදිරියෙහිද දෘෂ්ටි සාමාන්‍යයට (දෘෂ්ටියෙන් සම බවට) පැමිණ වාසය කරයිද ප්‍රිය කරන්නාවූ ගරු කරන්නාවූ සිහිකටයුතුවූ මේ ධර්මයද සංග්‍රහය පිණිසද අවිවාදය පිණිසද අවිහිංසාව පිණිසද සමගිය පිණිසද එක්වීම පිණිසද පවතියි.

“කවර නම් ධර්ම සයක් වැඩිය යුත්තාහුද? ෂට් අනුස්මෘති කරුණු වන්නාහුය. බුද්ධානුස්මෘතිය (බුදු ගුණ සිහි කිරීම,) ධර්මානුස්මෘතිය (දහම් ගුණ සිහිකිරීම,) සංඝානුස්මෘතිය (සඟ ගුණ සිහිකිරීම,) සීලානුස්මෘතිය (සීලය සිහිකිරීම,) ත්‍යාගානුස්මෘතිය (දානය සිහිකිරීම.) දෙවතානුස්මෘතිය (දෙවියන් සාක්ෂියටගෙන ගුණ සිහිකිරීම) (යන සයය) මේ ධර්ම සය වැඩිය යුත්තාහුය.

“කවර නම් ධර්ම සයක් පිරිසිඳ දතයුත්තාහුද? ආද්ධ්‍යාත්මික (තමා පිළිබඳ) ආයතන සයයි. චක්ෂු ආයතනය, ශ්‍රොත ආයතනය, ඝ්‍රාණ ආයතනය, ජිව්හා ආයතනය, කාය ආයතනය, මනස් ආයතනය යන සයය. මේ ධර්මය පිරිසිඳ දතයුත්තාහුය.

“කවර නම් ධර්මසයක් දුරු කටයුත්තාහුද? තෘෂ්ණා සමූහ සයය. රූප තෘෂ්ණාවය, ශබ්ද තෘෂ්ණාවය, ගන්ධ තෘෂ්ණාවය රසතෘෂ්ණාවය, ස්පර්ශ තෘෂ්ණාවය, ධර්ම තෘෂ්ණාවය, මේ ධර්ම සය දුරු කට යුත්තාහුය.

“කවර නම් ධර්ම සයක් හානභාගිය (පිරිහීමට පමුණුවන) ස්වභාව ඇත්තාහුද අගෞරව සයයි. ඇවැත්නි, මේ ශාසනයෙහි මහණ තෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි උඩඟුව ගෞරව නැතිව වාසය කරයි. ධර්මය කෙරෙහි උඩඟුව ගෞරව නැතිව වාසය කරයි. සංඝයා කෙරෙහි උඩඟුව ගෞරව නැතිව වාසය කරයි. ශික්ෂාවෙහි උඩඟුව ගෞරව නැතිව වාසය කරයි. අප්‍රමාදයෙහි උඩඟුව ගෞරව නැතිව වාසය කරයි. ආමිස ධම්ම යන දෙවැදෑරුම් පටිසන්ථාරයෙහි උඩඟුව ගෞරව නැතිව වාසය කරයි යන මේ සය පිරිහීම පිණිස පවත්නාහ.

“කවර නම් ධර්ම සයක් විශෙෂ භාගිය (ගුණ විශෙෂයට පමුණුවන) ස්වභාව ඇත්තාහුද? ගෞරව කිරීම් සයයි. ඇවැත්නි, මේ ශාසනයෙහි මහණ තෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි යටහත් පැවතුම් ඇත්තේ ගෞරව සහිතව වාසය කරයි. ධර්මයෙහි යටහත් පැවතුම් ඇත්තේ ගෞරව සහිතව වාසය කරයි. සංඝයා කෙරෙහි යටහත් පැවතුම් ඇත්තේ ගෞරව සහිතව වාසය කරයි. ශික්ෂාවෙහි යටහත් පැවතුම් ඇත්තේ ගෞරව සහිතව වාසය කරයි. අප්‍රමාදයෙහි යටහත් පැවතුම් ඇත්තේ ගෞරව සහිතව වාසය කරයි. ආමිස ධම්ම යන දෙවැදෑරුම් පටිසන්ථාරයෙහි යටහත් පැවතුම් ඇත්තේ ගෞරව සහිතව වාසය කරයි. යන මේ ධර්ම සය විශෙෂ භාගිය වන්නාහුය.

“කවර නම් ධර්ම සයක් දුකසේ ප්‍රතිවෙධ කටයුත්තාහුද? නිස්සරණීය ධාතු සයය. මේ ශාසනයෙහි මහණ තෙම මෙසේ කියන්නේය ඇවැත්නි, මෛත්‍රීසමාධිය වනාහි මා විසින් වඩනලදී. බොහෝසේ වඩනලදී. නැවත නැවත වඩනලදී. වස්තු වශයෙන් කරණලදී, අනුව පවතිනලදී, පුරුදුකරණ ලදී, හොඳින් පටන්ගන්නා ලදී, එතකුදු වුවත්, ක්‍රොධය මාගේ සිත හාත්පසින් මැඩගෙන සිටීයයි (කියයි.) එසේ නොකියවයි ඔහුට කියයුතු වන්නේය. ආයුෂ්මත් තෙමේ මෙසේ නොකියාවා, භාග්‍යවතුන් වහන්සේට දොස් නොකියාවා, භාග්‍යවතුන් වහන්සේට දොස් කීම සුදුසු නොවේ. භාග්‍යවතුන් වහන්සේ වනාහි මෙසේ නොවදාරන්නාහ. ඇවැත්නි, වඩන ලද්දාවූද, බොහෝසේ වඩන ලද්දාවූද, නැවත නැවත වඩන ලද්දාවූද, වස්තු වශයෙන් කරණ ලද්දාවූද, ඒ අනුව හැසිරෙන ලද්දාවූද, පුරුදු කරණ ලද්දාවූද, හොඳින් පටන්ගන්නා ලද්දාවූද, මෛත්‍රී සමාධිය ඇති කල්හි ඔහුගේ හිත ක්‍රෝධය විසින් හාත්පසින් මැඩගෙන සිටිනු ලැබේ යන යම් කාරණයක් වේනම් එය නොසිදුවිය හැක්කකි. එසේ වන්නට අවකාශයක් නැත. ඇවැත්නි, යම් මේ මෛත්‍රී සමාධියක් වේද, මෙය ක්‍රොධයාගේ නිස්සරණය වේ. (ක්‍රොධයෙන් මිදීම වෙයි.)

“ඇවැත්නි, මේ ශාසනයෙහි මහණ තෙම මෙසේ කියන්නේය. ඇවැත්නි, කරුණා සමාධිය වනාහි මා විසින් වඩන ලදී, බොහෝසේ වඩන ලදී, නැවත නැවත වඩන ලදී. වස්තු වශයෙන් කරණලදී, ඒ අනුව හැසිරෙනලදී, පුරුදු කරනලදී, හොඳින් පටන්ගන්නාලදී, එතකුදුවත් මාගේ සිත විහෙසය (හිංසාකිරීමේ කැමැත්ත) හාත්පස මැඩගෙන සිටියයි (කියයි.)

“මෙසේ නොකියවයි ඔහුට කියයුතු වන්නේය. ආයුෂ්මත් තෙමේ මෙසේ නොකියවා, භාග්‍යවතුන් වහන්සේට දොස් නොකියාවා, භාග්‍යවතුන් වහන්සේට දොස් කීම නොමැනවි. භාග්‍යවතුන් වහන්සේ වනාහි මෙසේ නොවදාරන්නාහ.

“ඇවැත්නි, වඩන ලද්දාවූද, බොහෝසේ වඩන ලද්දාවූද, නැවත නැවත වඩන ලද්දාවූද, වස්තු වශයෙන් කරණ ලද්දාවූද, ඒ අනුව හැසිරෙන ලද්දාවූද, පුරුදු කරණ ලද්දාවූද හොඳින් පටන්ගන්නා ලද්දාවූද කරුණා සමාධිය ඇතිකල්හි ඔහුගේ සිත විහෙසය (හිංසා කිරීමේ කැමැත්ත) හාත්පස මැඩගෙන සිටින්නේය යන යම් කාරණයක් වේ නම් එය නොසිදුවිය හැක්කකි. ඇවැත්නි, කරුණා හිත වනාහි විහෙසයාගේ නිස්සරණයමැයි, (හිංසා කිරීමෙන් මිදීමයි.)

“ඇවැත්නි, මේ ශාසනයෙහි මහණ තෙම මෙසේ කියන්නේය. ඇවැත්නි, මා විසින් මුදිතා සමාධිය වඩනලදී, බොහෝ සේ වඩනලදි, නැවත නැවත වඩනලදී, වස්තු වශයෙන් කරණ ලදී. ඒ අනුව හැසිරෙනලදී, පුරුදු කරණලදී, හොඳින් පටන් ගන්නා ලදී, එතකුදු වුවත්, අරතිය (නොඇල්ම) මාගේ සිත හාත්පස මැඩගෙන සිටීයයි (කියයි) එසේ නොකියවයි ඔහුට කිය යුතු වන්නේය. ආයුෂ්මත් තෙමේ මෙසේ නොකියාවා, භාග්‍යවතුන් වහන්සේට දොස් නොකියාවා, භාග්‍යවතුන් වහන්සේට දොස් කීම නොමැනවි. භාග්‍යවතුන් වහන්සේ වනාහි මෙසේ නොවදාරන්නාහ.

“ඇවැත්නි, වඩන ලද්දාවූද, බොහෝසේ වඩන ලද්දාවූද, නැවත නැවත වඩන ලද්දාවූද, වස්තු වශයෙන් කරණ ලද්දාවූද, ඒ අනුව හැසිරෙන ලද්දාවූද, පුරුදුකරණ ලද්දාවූද, හොඳින් පටන්ගන්නා ලද්දාවූද මුදිතා සමාධිය ඇති කල්හි අරතිය ඔහුගේ සිත හාත්පස මැඩගෙන සිටින්නේය යන කාරණයක් වේ නම් එය නොසිදුවිය හැක්කකි. ඊට අවකාශයක් නැත. ඇවැත්නි, මුදිතා සමාධිය වනාහි අරතියගේ නිස්සරණය වේමැයි, (නොඇල්මෙන් මිදීමයි.)

“ඇවැත්නි, මේ ශාසනයෙහි මහණ තෙම මෙසේ කියන්නේය. ඇවැත්නි, උපෙක්ෂා සමාධිය වනාහි මා විසින් වඩනලදී, බොහෝසේ වඩනලදී, නැවත නැවත වඩනලදී. වස්තු වශයෙන් කරණලදී, ඒ අනුව පවතිනලදී, පුරුදුකරණ ලදී, හොඳින් පටන්ගන්නා ලදී. එතකුදු වුවත් රාගය මාගේ සිත හාත්පස මැඩගෙන සිටීයයි (කියයි.) ඔහුට එසේ නොකියවයි කියයුතු වන්නේය. ආයුෂ්මත් තෙමේ මෙසේ නොකියාවා, භාග්‍යවතුන් වහන්සේට දොස් නොකියාවා භාග්‍යවතුන් වහන්සේට දොස් කීම නොමැනවි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නොවදාරන්නාහ, ඇවැත්නි, වඩන ලද්දාවූද, බොහෝසේ වඩන ලද්දාවූද, නැවත නැවත වඩන ලද්දාවූද, වස්තු වශයෙන් කරන ලද්දාවූද, පුරුදු කරණ ලද්දාවූද, හොඳින් පටන් ගන්නා ලද්දාවූද, උපෙක්ෂා සමාධිය ඇති කල්හි රාගය ඔහුගේ සිත හාත්පස මැඩගෙන සිටින්නේය යන යම් කාරණයක් වේ නම් එය නොසිදුවිය හැක්කකි. ඊට අවකාශයක් නැත. ඇවැත්නි, මේ උපෙක්ෂා සමාධිය රාගයාගේ නිස්සරණය (මිදීම) වේමැයි.

“ඇවැත්නි, මේ ශාසනයෙහි මහණ තෙම මෙසේ කියන්නේය. ඇවැත්නි, අනිමිත්ත චෙතො විමුත්තිය (අර්හත්ඵල සමාපත්තිය) මා විසින් වඩනලදී, බොහෝසේ වඩනලදී. නැවත නැවත වඩනලදී, වස්තු වශයෙන් කරණලදී, ඒ අනුව පවත්නාලදී. පුරුදු කරණලදී, හොඳින් පටන්ගන්නාලදී, එතකුදු වුවත්, මාගේ හිත රාගයට හෙතුවූ ආරම්මණයන්හි හැසිරෙන්නේයයි කියයි. ඔහුට එසේ නොකියවයි කියයුතු වන්නේය. ආයුෂ්මත් තෙමේ මෙසේ නොකියාවා, භාග්‍යවතුන් වහන්සේට දොස්නොකියාවා, භාග්‍යවතුන්වහන්සේට දොස් කීම නොමැනවි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නොවදාරන්නාහ.

“ඇවැත්නි, වඩන ලද්දාවූද, බොහෝසේ වඩන ලද්දාවූද, නැවත නැවත වඩනලද්දාවූද, වස්තු වශයෙන් කරණලද්දාවූද, ඒ අනුව පවත්නා ලද්දාවූද, පුරුදු කරණ ලද්දාවූද, හොඳින් පටන්ගන්නා ලද්දාවූද අනිමිත්තචෙතො සමාධිය ඇති කල්හි ඔහුගේ හිත රාගාදියට හෙතුවූ ආරම්මණයන්හි හැසිරෙන්නේය යන යම් කාරණයක් වේ නම් එය නොසිදුවිය හැක්කකි. ඊට අවකාශයක් නැත. ඇවැත්නි, මේ අනිමිත්තචෙතො විමුත්තිය සියලු නිමිත්තයන්ගේ නිස්සරණය වේමය.

“ඇවැත්නි, මේ ශාසනයෙහි මහණ තෙම මෙසේ කියන්නේය. ‘මම වෙමියි’ යන (හැඟීම) පහව ගියේ වෙයි, මෙතෙම ‘මම වෙමියි’ කියා ගන්නා දෙයක් නොදක්නෙමි. එතකුදු වුවත් කෙසේද කෙසේදැයි ගන්නා සැකය නමැති උල මාගේ සිත හාත්පස මැඩගෙන සිටීයයි (කියයි.)

“ඔහුට මෙසේ නොකියවයි කියයුතු වන්නේය. ආයුෂ්මත් තෙමේ මෙසේ නොකියාවා භාග්‍යවතුන් වහන්සේට දොස් නොකියාවා, භාග්‍යවතුන් වහන්සේට දොස් කීම නොමැනවි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නොවදාරන්නාහ. ඇවැත්නි, ‘මම වෙමි’යි යන හැඟීම පහව ගිය කල්හි ‘මෙය මම වෙමි’යි නොදක්නහුට කෙසේද කෙසේදැයි ගන්නා සැකය නමැති උල ඔහුගේ සිත හාත්පස මැඩගෙන සිටින්නේය යන යම් කාරණයක් වෙයිනම් එය සිදුවිය නොහැක්කකි. ඊට අවකාශයක් නැත.

“ඇවැත්නි, මේ ‘මම වෙමි’යි යන හැඟීමේ මුල් සිඳීමක් වේද, එය කෙසේද කෙසේදැයි ගන්නා විචිකිච්ඡා සල්ලයාගේ නිස්සරණය (මිදීම) වේමැයි මේ සය දුකසේ අවබොධ කට යුත්තාහ.

“කවර නම් ධර්ම සයක් ඉපදවිය යුත්තාහුද? සිහි නුවණින් විමසීම් සයය. ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම ඇසින් රූපයක් දැක සතුටුද නොවෙයි, නොසතුටුද නොවෙයි, උපෙක්ෂාවෙන් යුක්තව සිහි නුවණින් යුක්තව වාසය කරයි. කණින් ශබ්දය අසා, නැහැයෙන් ගඳ සුවඳ දැන, දිවෙන් රසය විඳ, කයින් ස්පර්ශය දැන, සිතින් ධර්මඅරමුණු දැන සතුටුද නොවෙයි. නොසතුටුද නොවෙයි. උපෙක්ෂාවෙන් යුක්තව සිහි නුවණින් යුක්තව වාසය කරයි. මේ ධර්ම සය ඉපදවිය යුතුය.

“කවර නම් ධර්ම සයක් ඉතා හොඳ නුවණින් දත යුත්තාහුද? අනුත්තරිය (උතුම් දේ) ධර්ම හයයි. දස්සනානුත්තරිය (දැකීම් අතරෙන් උසස් දැකීම,) සවණානුත්තරිය (ඇසීම් අතුරෙන් උසස් ඇසීම,) ලාභානුත්තරිය (ලැබීම් අතුරෙන් උසස් ලැබීම,) සික්ඛානුත්තරිය, (හික්මීම අතුරෙන් උසස් හික්මීම,) පාරිචරියානුත්තරය (උපස්ථාන අතුරෙන් උතුම් උපස්ථානය,) අනුස්සතානුත්තරිය (සිහිකිරීම් අතුරෙන් උතුම් සිහිකිරීම) යන සයයි. මේ ධර්ම සය ඉතා හොඳ නුවණින් දත යුත්තාහුය.

“කවර නම් ධර්ම සයක් තමාම දැකීමෙන් ප්‍රත්‍යක්ෂ කට යුත්තාහුද? අභිඥා සයය. ඇවැත්නි, මේ සස්නෙහි මහණ තෙමේ නොයෙක් අයුරු ඇති ඍද්ධිවිධි වෙන් වෙන්කොට දක්වයි. එකෙක්ව බොහෝසේ වෙයි. බොහෝසේව එකෙක් වෙයි ප්‍රකට බවට, මුවහ බවට, අහසෙහි මෙන් බිත්තිය හරහට, පවුර හරහට, පර්වතය හරහට, නොහැපෙමින් යයි. දියෙහි මෙන් පොළොවෙහි කිමිදීම් මතුවීම් කෙරෙයි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබෙදා ගමන් කෙරෙයි. පක්ෂියකු මෙන් අහසෙහිද පර්යංකයෙන් හිඳගෙනම යෙයි. මේ මහත් ඍද්ධි ඇති, මහත් ආනුභාව ඇති සඳ හිරු දෙදෙන අතගායි, පිරිමදියි, බඹලොව තෙක් ශරීරයෙන් වසඟ බව පවත්වයි. පිරිසිදුවූ මිනිසත්බව ඉක්මෙව්වාවූ දිවකණින් දුර වූද, ස්වමීපවූද, අන්‍ය සත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද දෙවැදෑරුම් ශබ්ද අසයි. දුරවූ හෝ ළඟවූ හෝ සත්වයන්ගේ සිත සිය සිතින් පිරිසිඳ දනියි. රාග සහිත සිත රාග සිතයයි දනියි. රාගය පහවූ සිත රාගයෙන් තොරවූ සිතයයි දනියි. ද්වෙෂ සහිත සිත දොස සිතයයි දනියි. ද්වෙෂය පහවූ සිත ද්වෙෂයෙන් තොරවූ සිතයයි දනියි. මොහ සහිත සිත මොහ සිතයයි දනියි. මොහය පහවූ සිත මොහයෙන් තොරවූ සිතයයි දනියි. හැකුලුණු සිත හැකුලුණු සිතයයි දනියි, විසිරුණු සිත විසිරුණු සිතයයි දනියි. මහත් බවට ගිය සිත, මහත් බවට ගිය සිත යයි දනියි. මහත් බවට නොගිය සිත, මහත් බවට නොගිය සිතයයි දනියි. කාම සහිත සිත, කාම සහිත සිතයයි දනියි. ලෞකික හිත් අතුරෙන් උසස්ම සිත අනුත්තර සිතයයි දනියි සමාධි ගතවූ සිත සමාධිගත සිතයයි දනි, සමාධිගත නොවූ සිත සමාධිගත නොවූ සිතයයි දනියි. (ක්ලේශයෙන්) මිදුනු සිත. මිදුනු සිතයයි දනියි. නොමිදුනු සිත නොමිදුනු සිතයයි දනියි.

“හෙතෙමේ නොයෙක් ආකාරවූ පෙරවිසූ කඳ පිළිවෙළ සිහිකරන්නේය. හේ කෙසේද යත්: එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පසක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිසක්ද, ජාති සතළිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් ජාති ලක්ෂගණන්ද අසවල් තැන වූයෙම් මෙබඳු නම් ඇත්තේ, මෙබඳු ගොත්‍ර ඇත්තේ, මෙබඳු වර්ණ ඇත්තේ, මෙබඳු ආහාර ඇත්තේ මෙබඳු සැප දුක් විඳින්නේ, මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තේ වීමියයි කියායි. ඒ මම එයින් චුතවූයෙම් අසුවල් තැන උපනිමි. එහිද මෙබඳු නම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු වර්ණ ඇත්තේ වීමි, මෙබඳු ආහාර ඇත්තේ වීමි, මෙබඳු සැප දුක් වින්දේ වීමි. මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තේ වීමි. ඒ මම එයින් චුතවූයෙම් මෙහි උපන්නෙමි. මෙසේ ආකාර සහිතව දැක්වීම් සහිතව නානාප්‍රකාරවූ පෙර විසූ ආත්ම සිහි කරයි.

“පිරිසිදුවූ මිනිසත් බව ඉක්මෙව්වාවූ දිව ඇසින් චුත වන්නාවූද උපදින්නාවූ, හීනවූද, උසස්වූද, යහපත් වර්ණ ඇත්තාවූද, දුර්වර්ණවූ, යහපත් ගති ඇත්තාවූද අයහපත් ගති ඇත්තාවූද කම්වූ පරිදි මිය පරලොව යන්නාවූ සත්වයන් දැන ගනීද එබඳුවූ චිත්තසමාධිය ලබයි. මේ පින්වත් සත්වයෝ එකාන්තයෙන් කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහු, වාග් දුශ්චරිතයෙන් යුක්තවූවාහු, මනො දුශ්චරිතයෙන් යුක්තවූවාහු, ආර්‍ය්‍යයන්ට දොස් කියන්නාහු, මිසදිටුවූවාහු, මිථ්‍යාදෘෂ්ටි කර්මයන් සමාදන් වූවාහු මරණින් මතු සැපයෙන් පහවූ හෙයින් අපාය නම්වූ දුකට පැමිණීම හෙයින් දුග්ගති නම්වූ, විවසව (හිස යටිකුරුව වැටෙන්නාවූ) නරකයෙහි උපන්නාහුය. මේ පින්වත් සත්වයෝ කයින් කරන සුචරිතයෙන් යුක්තවූවාහු වචනයෙන් කරන සුචරිතයෙන් යුක්තවූවාහු, හිතින් කරන සුචරිතයෙන් යුක්තවූවාහු ආර්‍ය්‍යයන්ට දොස් නොකියන්නාහු සම්‍යක්දෘෂ්ටි ඇත්තාහු සම්‍යක්දෘෂ්ටි කර්ම සමාදන්වූවාහු ඔව්හු ශරීරභෙදයෙන්, මරණින් මතු සුගති නම්වූ ස්වර්ග ලොකයෙහි උපන්නාහුයයි මෙසේ මිනිස් ඇස ඉක්මවූ, පිරිසුදු දිවැසින්, චුතවන්නාවූද, උපදින්නාවූද හීනවූද, රසවත්වූද, යහපත් වර්ණ ඇත්තාවූද, දුර්වර්ණවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද කම්වූපරිදි පරලොව යන සත්වයන් දැනගනී. කාමාදි ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ චිත්ත විමුක්තියද ප්‍රඥාවිමුක්තියද මේ ආත්මයෙහිම තෙමේ ඉතා හොඳ ප්‍රඥාවෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට එළඹ වාසය කරන්නේය. මේ ධර්ම සය ප්‍රත්‍යක්ෂ කටයුත්තාහුය.

“මෙසේ විද්‍යමානවූ සත්‍යවූ එසේම වන්නාවූ වෙනස් නොවන්නාවූ අන්පරිද්දකින් නොවන්නාවූ මේ ධර්මයෝ සැටදෙන තථාගතයන් වහන්සේ විසින් මනාකොට අවබොධකරණ ලද්දාහුය.

සත්ත ධම්මා

“ධර්ම සතක් බොහෝ උපකාර වන්නාහුය. ධර්ම සතක් වැඩිය යුත්තාහුය. ධර්ම සතක් පිරිසිඳ දතයුත්තාහුය. ධර්ම සතක් දුරු කටයුත්තාහුය. ධර්ම සතක් පිරිහීමට පමුණුවන ස්වභාව ඇත්තාහුය. ධර්ම සතක් ගුණවිශෙෂය පිණිස පවත්නාහ. ධර්ම සතක් ඉපදවිය යුත්තාහුය. ධර්ම සතක් විශෙෂයෙන් දතයුත්තාහුය. ධර්ම සතක් තමාම දැක ප්‍රත්‍යක්ෂ කටයුත්තාහ.

“කවර නම් ධර්ම සතක් බොහෝ උපකාර වන්නාහුද? ආර්‍ය්‍ය ධන සතය, ශ්‍රද්ධා ධනය, සීල ධනය, හිරි (ලජ්ජා) ධනය, ඔත්තප්ප (බිය) ධනය, ශ්‍රැත ධනය, ත්‍යාග ධනය, ප්‍රඥා ධනය, මේ ධර්ම සත බොහෝ උපකාර වන්නාහුය.

“කවර නම් ධර්ම සතක් වැඩිය යුත්තාහුද? සප්ත බොද්ධ්‍යංග ධර්මයෝය. ස්මෘති සම්බොද්ධ්‍යංගය, ධර්මවිචය සම්බොද්ධ්‍යංගය, වීර්යය සම්බොධ්‍යාංගය, ප්‍රීති සම්බොද්ධ්‍යංගය, පස්සද්ධි සම්බොද්ධ්‍යංගය, සමාධි සම්බොද්ධ්‍යංගය, උපෙක්ෂා සම්බොද්ධ්‍යංගය යන මේ බොද්ධ්‍යංග සත වැඩිය යුත්තාහ.

“කවර නම් ධර්ම සතක් පිරිසිඳ දතයුත්තාහුද? ඇවැත්නි, විඥානස්ථිති (විඥාන පිහිටන තැන්) සතක් වෙත්. වෙනස් වෙනස් ශරීර ඇති වෙනස් වෙනස් හැඟීම් (ප්‍රතිසන්ධි විඤ්ඤාණ) ඇති සත්වයෝ වෙත්. මනුෂ්‍යයෝද ඇතැම් දෙවියෝද, ඇතැම් විනිපාතිකයෝ (සමහර අසුරයන් හා ප්‍රෙතයෝ) ද, යම්සේද එමෙනි. මේ පළමුවන විඥානස්ථිතියයි. ඇවැත්නි, වෙනස් වෙනස් ශරීර ඇති එක හැඟීම (සමාන ප්‍රතිසන්ධි විඤ්ඤාණ) ඇති සත්වයෝ වෙත්. පළමුවෙනි ධ්‍යානයෙන් උපන්නාවූ බ්‍රහ්මකායික නම් දෙවියෝ යම්සේද එමෙනි. මේ දෙවන විඥානස්ථිතියයි. ඇවැත්නි, සමාන ශරීර ඇති වෙනස් වෙනස් හැඟීම් (ප්‍රතිසන්ධි විඤ්ඤාණ) ඇති සත්වයෝ වෙත්. ආභස්සර දෙවියෝ යම්සේද එමෙනි, මේ තුන්වන විඥානස්ථිතියයි. ඇවැත්නි, සමාන ශරීර ඇති සමාන හැඟීම් (ප්‍රතිසන්ධි විඤ්ඤාණ) ඇති සත්වයෝ වෙත්. සුභකිණ්හ දෙවියෝ යම්සේද එමෙනි. මේ සතරවන විඥානස්ථිතියයි. ඇවැත්නි, සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් ගැටීම් සංඥාවන් නැසීමෙන් වෙනස් වෙනස් සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ආකාසය අනන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණියාවූ සත්වයෝවෙත්. මේ පස්වන විඥානස්ථිතියයි. ඇවැත්නි, සියලු ආකාරයෙන් ආකාසනඤ්චායතනය ඉක්මවා විඤ්ඤානය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණියාවූ සත්වයෝ වෙත්. මේ සයවෙනි විඥානස්ථිතියයි. ඇවැත්නි, සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණියාවූ සත්වයෝ වෙත්. මේ සත්වන විඥානස්ථිතිය වන්නීය. මේ ධර්ම සත පිළිබඳ දතයුත්තාහුය.

“කවර නම් ධර්ම සතක් දුරුකටයුත්තාහුද? “අනුසය (සිතෙහි බැඳී පවතින කෙලෙස්) සත වෙත්. කාමරාගානුසය, පටිඝානුසය, දිට්ඨානුසය, විචිකිච්ඡානුසය, මානානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය යන මේ ධර්ම සත දුරු කට යුත්තාහුය.

“කවර නම් ධර්ම සතක් පිරිහීම පිණිස වන්නාහුද සත් අසද්ධර්මයෝය. ඇවැත්නි, මේ සස්නෙහි මහණ තෙමේ ශ්‍රද්ධා නැත්තෙක් වේද, ලජ්ජා නැත්තෙක් වේද, බිය නැත්තෙක් වේද, ඇසූ පීරූ තැන් නැත්තෙක් වේද, කුසීතයෙක් වේද, සිහි මුළාවූවෙක් වේද, නුවණ නැත්තෙක් වේද මේ ධර්ම සත පිරිහීම පිණිස පවත්නාහුය.

“කවර නම් ධර්ම සතක් ගුණවිශෙෂය පිණිස වන්නාහුද? සත් සද්ධර්මයෝය. ඇවැත්නි, මේ සස්නෙහි මහණ තෙමේ ශ්‍රද්ධා ඇත්තෙක් වේද, ලජ්ජා ඇත්තෙක්වේද, බිය ඇත්තෙක් වේද, බහුශ්‍රැතයෙක් වේද, පටන්ගත් වීර්යය ඇත්තෙක් වේද, එළඹ සිටි සිහිය ඇත්තෙක් වේද, ප්‍රඥාවන්තයෙක් වේද යන ධර්ම සත ගුණ විශෙෂය පිණිස පවත්නාහුය.

“කවර නම් ධර්ම සතක් දුකසේ අවබොධ කටයුතු වන්නාහුද? සත් සත්පුරුෂ ධර්මයෝය. ඇවැත්නි, මේ ශාසනයෙහි මහණ තෙමේ ධර්මය දන්නෙක් වේද, අර්ථය දන්නෙක් වේද, තමා දන්නෙක් වේද, පමණ දන්නෙක් වේද, කාලය දක්නෙක් වේද, පිරිස් දන්නෙක් වේද, පුද්ගලයන් දන්නෙක් වේද, මේ ධර්ම සත දුකසේ අවබොධ කටයුත්තාහුය.

“කවර නම් ධර්ම සතක් ඉපදවිය යුත්තාහුද? සත් සංඥාවෝය, අනිත්‍ය සංඥාවය, අනාත්ම සංඥාවය, අසුභ සංඥාවය, ආදීනව සංඥාවය, ප්‍රහාන සංඥාවය, විරාග සංඥාවය, නිරොධ සංඥාවය. මේ ධර්ම සත ඉපදවිය යුත්තාහුය.

“කවර නම් ධර්ම සතක් විශෙෂ නුවණින් දතයුත්තාහුද? සත් වැරූරුම් නිර්දස වස්තු (දස අවුරුද්දක් නැත්තේය යනාදීන් කීමට හෙතුවූ කරුණු) හුය. ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම ශික්ෂා පිරීමෙහි බලවත් කැමැත්ත ඇත්තේ වෙයි. මත්තෙහිද, ශික්ෂා පිරීමෙහි පහනොවූ කැමැත්ත ඇත්තේ වෙයි. ධර්මනිසාන්තියෙහි (විදර්ශනාවෙහි) බලවත් කැමැත්ත ඇත්තේ වෙයි. මත්තෙහිද විදර්ශනාවෙහි පහනොවූ කැමැත්ත ඇත්තේ වෙයි. ඉච්ඡා විනයෙහි (ආසා දුරු කිරීමෙහි) බලවත් කැමැත්ත ඇත්තේ වෙයි. මත්තෙහිද ආසා දුරු කිරීමෙහි පහනොවූ කැමැත්ත ඇත්තේ වෙයි. පටිසල්ලානයෙහි (තනිව විසීමෙහි) බලවත් කැමැත්ත ඇත්තේ වෙයි. මත්තෙහිද තනිව විසීමෙහි පහනොවූ කැමැත්ත ඇත්තේ වෙයි. වීර්යයාරම්භයෙහි (වීර්යය කිරීමෙහි) බලවත් කැමැත්ත ඇත්තේ වෙයි. මත්තෙහිද පටන්ගන්නා ලද වීර්යයෙහි පහනොවූ කැමැත්ත ඇත්තේ වෙයි. සතිනෙපක්කයෙහි (සිහියෙහිද නුවණැති බැව්හිද) බලවත් කැමැත්ත ඇත්තේ වෙයි. මත්තෙහිද සිහියෙහි හා නුවණැති බැව්හි පහනොවූ කැමැත්ත ඇත්තේ වෙයි. දෘෂ්ටි ප්‍රතිවෙධයෙහි (මාර්ග දැකීමෙහි) බලවත් කැමැත්ත ඇත්තේ වෙයි. මත්තෙහිද මාර්ග දැකීමෙහි පහනොවූ කැමැත්ත ඇත්තේ වෙයි. මේ සත්වැදෑරුම් ධර්මයෝ විශෙෂයෙන් දත යුත්තාහුය.

“කවර නම් ධර්ම සතක් ප්‍රත්‍යක්ෂ කටයුතු වන්නාහුද? ක්ෂීණාශ්‍රව බල සතය, ඇවැත්නි, මේ සස්නෙහි රහත් භික්ෂුව විසින් සියලු සංස්කාර ධර්ම තත්වූ පරිද්දෙන් අනිත්‍ය වශයෙන් මනා ප්‍රඥාවෙන් දක්නා ලද්දාහු වෙත්ද, ඇවැත්නි, රහත් භික්ෂුව විසින් සියලු සංස්කාර ධර්මයන් තත්වූ පරිද්දෙන් අනිත්‍ය වශයෙන් මනා ප්‍රඥාවෙන් දක්නාලදී යන යමක් වේද යම්බඳු බලයකට පැමිණ රහත් භික්ෂු තෙමේ මාගේ කාම ආදී කෙලෙස් නැතිවීයැයි කෙලෙස් නැති බව ප්‍රකාශ කරයි නම් මෙයද රහත් භික්ෂුවගේ බලය වන්නේය. නැවත අනිකක්ද කියමි. රහත් භික්ෂුව විසින් ගිනිඅඟුරු වළකට සමාන කාමයෝ තත්වූ පරිද්දෙන් මනා ප්‍රඥාවෙන් දක්නා ලද්දාහු වෙත්ද ඇවැත්නි, රහත් භික්ෂුව විසින් ගිනි අගුරු වළකට බඳු කාමයෝ තත්වූ පරිද්දෙන් මනා ප්‍රඥාවෙන් දන්නාලදී යන යමක් වේද, යම්බඳු බලයකට පැමිණි රහත් භික්ෂු තෙමේ මාගේ කාමාදි කෙලෙස් නැතිවීයයි කෙලෙස් නැති බව ප්‍රකාශ කරයි නම් මෙයද රහත් භික්ෂුහුගේ බලයක් වන්නේය. නැවතද ඇවැත්නි, රහත් භික්ෂුව විවේකයට නැමුනාවූ සිත ඇත්තේ වේද, විවේකයට පුරුදුවූ විවේකය වාසභූමිවූ විවෙකයෙහි පිහිටියාවූ සිත ඇත්තේවේද, කෙලෙස්වලට කරුණුවූ ධර්මයන්ගෙන් වෙන්ව ගිහි ගෙයින් නික්මී මෙහි ඇළුනේ වේද, ඇවැත්නි, රහත් භික්ෂුව විවෙකයට නැමුණාවූ සිත ඇත්තේ වේද, විවෙකයට පුරුදුවූ විවෙකයට වාසභූමිවූ විවෙකයෙහි සිටියාවූ සිත ඇත්තේ වේද, කෙලෙස්වලට කරුණුවූ ධර්මයන්ගෙන් වෙන්ව ගිහි ගෙයින් නික්මීමෙහි ඇලුනේ වේද, යන යමක්වේද, යම්බඳු බලයකට පැමිණි රහත් භික්ෂුතෙමේ මාගේ කාමාදි කෙලෙස් නැතිවීයයි කෙලෙස් නැතිබව ප්‍රකාශ කරයි නම් මෙයද රහත් භික්ෂුවගේ බලය වන්නේය.

“නැවතද ඇවැත්නි, රහත් භික්ෂුව විසින් සතර සති පට්ඨානයෝ වඩනා ලද්දාහු මනාව වඩනා ලද්දාහු වෙත්ද, ඇවැත්නි, රහත් භික්ෂුව විසින් සතර සතිපට්ඨානයෝ වඩන ලද්දාහු, මනාව වඩන ලද්දාහු වෙත්ද යන යමක් වේද යම්බඳු බලයකට පැමිණි රහත් භික්ෂුතෙමේ මාගේ කාමාදි කෙලෙස් නැතිවීයයි කෙලෙස් නැති බව ප්‍රකාශ කරයි නම් මෙයද, රහත් භික්ෂුවගේ බලය වන්නේය.

“නැවතද ඇවැත්නි, රහත් භික්ෂුව විසින් පඤ්චෙන්ද්‍රියයෝ මඩන ලද්දාහු මනාව වඩන ලද්දාහු වෙද්ද, ඇවැත්නි, රහත් භික්ෂුව විසින් පංච ඉන්ද්‍රියයෝ වඩන ලද්දාහු මනාව වඩන ලද්දාහු වෙද්ද යන යම් යමක් වේද යම්බඳු බලයකට පැමිණි රහත් භික්ෂු තෙමේ මාගේ කෙලෙස් නැතිවීයයි, කෙලෙස් නැති බව ප්‍රකාශකරයි නම් මෙයද රහත් භික්ෂුවගේ බලය වන්නේය.

“නැවතද ඇවැත්නි, රහත්භික්ෂුව විසින් සප්තබොද්ධ්‍යංගයෝ වඩන ලද්දාහු හොඳින් වඩන ලද්දාහු වෙද්ද, ඇවැත්නි, රහත් භික්ෂුව විසින් සප්ත බොද්ධ්‍යංගයෝ වඩනා ලද්දාහු මොනවට වඩන ලද්දාහුය යන යමක් වේද, යම්බඳු බලයකට පැමිණි රහත් භික්ෂූ තෙමේ මාගේ කෙලෙස් නැතිවීයැයි කෙලෙස් නැති බව ප්‍රකාශ කරයි නම් මෙයද රහත්භික්ෂුවගේ බලය වන්නේය.

“නැවතද ඇවැත්නි, රහත් භික්ෂුව විසින් ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය වඩන ලද්දේ මනාව වඩන ලද්දේ වේද ඇවැත්නි, රහත් භික්ෂුව විසින් ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය වඩන ලද්දේය යහපත් කොට වඩන ලද්දේය යන යමක් වේද යම්බඳු බලයකට පැමිණි රහත් භික්ෂු තෙමේ මාගේ කෙලෙස් නැතිවී යැයි කෙලෙස් නැති බව ප්‍රකාශ කරයි නම් මෙයද රහත් භික්ෂුවගේ බලය වන්නේය. මේ සත්වැදෑරුම් ධර්මයෝ ප්‍රත්‍යක්ෂ (තමාම දැකීම) කටයුත්තාහුය.

“මෙසේ ඇත්තාවූ සත්‍යවූ එසේමවූ වෙනස් නොවන්නාවූ අන් ආකාරයකින් නොවන්නාවූ සැත්තෑවක් ධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් මනාකොට අවබෝධ කරණ ලද්දාහුය.

පළමුවෙනි බණවර නිමි.

අට්ඨ ධම්මා

“ධර්ම අටක් බොහෝ උපකාර වන්නාහ. ධර්ම අටක් වැඩිය යුත්තාහ, ධර්ම අටක් පිරිසිඳ දත යුත්තාහ. ධර්ම අටක් දුරුකටයුත්තාහ, ධර්ම අටක් පිරිහීම පිණිස වන්නාහ. ධර්ම අටක් විශෙෂ ඵලයට පැමිණීම පිණිස වන්නාහ. ධර්ම අටක් දුකසේ අවබොධ කටයුත්තාහ, ධර්ම අටක් ඉපදවිය යුත්තාහ, ධර්ම අටක් විශෙෂ නුවණින් දත යුත්තාහ. ධර්ම අටක් ප්‍රත්‍යක්ෂ කටයුත්තාහුය.

“කවර නම් ධර්ම අටක් බොහෝ උපකාර ඇත්තාහුද, නොලත් මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාවට මුල්වූ ප්‍රඥාව (තරුණ සමථ විදර්ශනා ප්‍රඥාව හෝ සම්‍යක් දෘෂ්ටිය) ලැබීම පිණිසද ලබන ලද එම ප්‍රඥාව බොහෝසේ වැඩීම පිණිසද විපුල භාවය පිණිසද වැඩීම සම්පූර්ණවීම පිණිසද පවතින්නාවූ හෙතු අට හා ප්‍රත්‍ය අටය. කවර අටෙක්ද? ඇවැත්නි, සස්නෙහි මහණ තෙමේ ශාස්තෲන් වහන්සේ හෝ ඇසුරුකොට වාසය කෙරේද එක්තරා ගරු කටයුතු තෙරුන්වහන්සේ කෙනෙකු ඇසුරුකොට හෝ වාසය කෙරේද උන්වහන්සේ කෙරෙහි තියුණු හිරිඔතප් ඇත්තේ වේද, ප්‍රේමය සහ ගෞරවය ඇත්තේ වේද, මේ පළමුවෙනි හේතුව හා පළමුවෙනි ප්‍රත්‍යය නොලත් මාර්ගබ්‍රහ්මචරියාවට මුල්වූ ප්‍රඥාව ලැබීම පිණිසද ලැබූ ප්‍රඥාව බොහෝසේ වැඩීම පිණිසද විපුල භාවය පිණිසද භාවනාවේ සම්පූර්ණත්වය පිණිසද පවත්නේය. ඒ තෙමේ ශාස්තෲන් වහන්සේ ඇසුරුකොට හෝ එක්තරා ගරු කටයුතු ශ්‍රාවක මිතුරෙකු ඇසුරු කොට හෝ වාසය කෙරේද උන්වහන්සේ කෙරෙහි ඔහුගේ තියුණු හිරිඔතප් ඇත්තේ වේද ප්‍රේමය හා ගෞරවය ඇත්තේ වේද, ඔහු කලින් කල උන්වහන්සේලා කරා එළඹ, ස්වාමීන්වහන්ස, මෙය කෙසේද? මේ පදයෙහි අර්ථය කුමක්දැයි, විචාරන්නේය, ප්‍රශ්න කරන්නේය. ඔහුට ඒ ආයුෂ්මත්හු පැහැදිලි නැති අර්ථය පැහැදිලි කර දෙන්නාහුය. අප්‍රකට අර්ථය ප්‍රකට කර දෙන්නාහුය. නොයෙක් ආකාරවූ සැක කටයුතු ධර්මයන්හි සැක දුරු කරන්නාහුය, මේ දෙවෙනි හේතුව, දෙවෙනි ප්‍රත්‍යය තාම නොලත් මාර්ගබ්‍රහ්මචරියාවට මුල්වූ ප්‍රඥාව ලැබීම පිණිසද ලැබූ ප්‍රඥාව බොහෝසේ වැඩීම පිණිසද විපුල භාවය පිණිසද භාවනාවගේ සම්පූර්ණත්වය පිණිස පවතින්නේය.

“ඒ ධර්මය අසා කායවිවෙකය චිත්තවිවෙකය යන දෙවැදෑරුම් විවෙකයෙන් සම්පූර්ණ කරන්නේය. මේ තුන් වෙනිහේතුව, තුන්වෙනි ප්‍රත්‍යය නොලත් මාර්ගබ්‍රහ්මචරියාවට මුල්වූ ප්‍රඥාව ලැබීම පිණිසද ලැබූ ප්‍රඥාව බොහෝසේ වැඩීම පිණිසද විපුලභාවය පිණිසද භාවනාවගේ සම්පූර්ණත්වය පිණිසද පවතී.

“නැවතද, ඇවැත්නි, මහණතෙමේ සිල්වත් වේද ප්‍රාතිමොක්ෂ සංවර සීලයෙන් සංවරව වාසය කෙරේද ශ්‍රමණයන්ට සුදුසු ආචාරයෙන් හා ගොචරයෙන් යුක්තවූයේ වේද සුලු වරදෙහි පවා භය දක්නා ස්වභාව ඇත්තේද ශික්ෂා පදයන්හි මනාව හික්මෙන්නේ වේද, මේ සිව්වෙනි හේතුව සිව්වෙනි ප්‍රත්‍යය නොලැබූ මාර්ගබ්‍රහ්මචරියාවට මුල්වූ ප්‍රඥාව ලැබීම පිණිසද ලැබූ ප්‍රඥාව බොහෝසේ වැඩීම පිණිසද විපුල භාවය පිණිසද භාවනාවගේ සම්පූර්ණත්වය පිණිසද පවතී.

“ඇවැත්නි, නැවතද මහණ තෙමේ බහුශ්‍රැතයෙක් වේද (බොහෝ දේ දැනගත්තෙක්) ශ්‍රැතධරයෙක් (ඇසු දේ දරා සිටින්නෙක්) ශ්‍රැතසන්නිචයෙක් (ඇසු දේ රැස්කරගෙන සිටින්නෙක්) වේද, යම් ඒ ධර්ම කෙනෙක් මුල යහපත්වූවාහුද මැද යහපත් වූවාහුද කෙළවර යහපත් වූවාහුද අර්ථ සහිත වූවාහුද යහපත් වචන සහිත වූවාහුද හාත්පස සම්පූර්ණවූ පිරිසිදු බ්‍රහ්මචරියාව ප්‍රකාශකරද්ද එබඳුවූ ධර්ම ඔහු විසින් බොහෝ අසන ලද්දාහුවෙත්ද දරන ලද්දාහු වෙත්ද වචනයෙන් පුරුදු කරන ලද්දාහුවෙද්ද, සිතින් සලකාබලන ලද්දාහු වෙත්ද ප්‍රඥාවෙන් මනාව අවබෝධ කරන ලද්දාහුද වෙත්. මේ පස්වෙනි, හේතුව පස්වෙනි ප්‍රත්‍යය නොලත් මාර්ගබ්‍රහ්මචරියාවට මුල්වූ ප්‍රඥාව ලැබීම පිණිසද ලත් ප්‍රඥාව බොහෝ සෙයින් වැඩීම් පිණිසද විපුල භාවය පිණිසද භාවනා වගේ සම්පූර්ණත්වය පිණිසද පවතී.

“නැවතද මහණතෙමේ පටන්ගන්නාලද වීර්යයෙන් යුක්තව අකුශල ධර්මයන් දුරුකිරීම පිණිසද, කුසල් ධර්මයන්ට එළඹීම පිණිසද ශක්තිමත් වූයේ දැඩි උත්සාහයෙන් යුක්තවූයේ කුශල ධර්මයන්හි පසුබට නොවූ වීර්යය ඇතිව වාසය කෙරේද, මේ සයවෙනි හේතුව සයවෙනි ප්‍රත්‍ය නොලත් මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාවට මුලවූ ප්‍රඥාව ලැබීම පිණිසද ලත් ප්‍රඥාව බොහෝ සෙයින් වැඩීම පිණිසද විපුල භාවය පිණිසද භාවනාවගේ සම්පූර්ණත්වය පිණිසද පවතී.

“නැවතද ඇවැත්නි මහණ තෙමේ සිහියෙන් යුක්තවූයේ වේද, මුහුකුරා ගිය උතුම් සිහියෙන් යුක්තවූයේ බොහෝ කලකට පෙර කළ දේද, බොහෝ කලකට පෙර කියූ දේද සිහි කරන්නේ වේද, මතක ඇත්තේ වේද මේ සත්වෙනි හේතුව සත්වෙනි ප්‍රත්‍යය නොලත් මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාවට මුල්වූ ප්‍රඥාව පිණිසද ලැබූ ප්‍රඥාව බොහෝසේ වැඩීම පිණිසද විපුල භාවය ලැබීම පිණිසද භාවනාවගේ සම්පූර්ණත්වය පිණිසද පවත්නේය.

“නැවතද ඇවැත්නි, මහණ තෙමේ පඤ්චඋපාදාන ස්කන්ධයන්හි ඇති වීම්, නැතිවීම් දෙක බලමින් වාසය කෙරේද රූපය මෙසේ වන්නේය. රූපයාගේ හටගැනීම මෙසේ වන්නේය. රූපයාගේ විනාසය මෙසේ වන්නේය. වේදනාව මෙසේ වන්නීය. වේදනාවගේ හටගැනීම මෙසේ වන්නේය. වේදනාවගේ විනාසය මෙසේ වන්නේය. සංඥාව මෙසේ වන්නේය. සංඥාවගේ හටගැනීම මෙසේ වන්නේය. සංඥාවගේ නැතිවීම මෙසේ වන්නේය. සංස්කාරයෝ මෙසේ වන්නාහුය. සංස්කාරයන්ගේ හටගැනීම මෙසේ වන්නේය. සංස්කාරයන්ගේ විනාශය මෙසේ වන්නේය. විඥානය මෙසේ වන්නේය. විඥානයාගේ හටගැනීම මෙසේ වන්නේය. විඥානයාගේ විනාශය මෙසේ වන්නේයයි ඇතිවීම හා නැතිවීම බලමින් වාසය කෙරේද මේ අට වැනි හේතුව අටවැනි ප්‍රත්‍ය නොලැබූ මාර්ග බ්‍රහ්මචරියාවට මුල් ප්‍රඥාව ලැබීම පිණිසද ලැබූ ප්‍රඥාව බොහෝ සේ වැඩීම පිණිසද විපුල භාවය පිණිසද, භාවනාවගේ සම්පූර්ණත්වය පිණිසද පවත්නේය. මේ ධර්ම අට බොහෝ උපකාර වන්නාහුය.

“කවර නම් ධර්ම අටක් වැඩිය යුත්තාහුද? ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය තෙමේය, හේ කවරේද? හරි දෘෂ්ටිය, හරි කල්පනාව, හරිවචනය, හරි කර්මාන්තය, හරි ආජිවය, හරි ව්‍යායාමය, හරි ස්මෘතිය, හරි සමාධිය, යනමේ ධර්ම අට වැඩිය යුත්තාහුය.

“කවර නම් ධර්ම අටක් පිරිසිඳ දතයුත්තාහුද? අෂ්ටලොක ධර්මයෝය, ලාභය අලාභය, අපකීර්තිය, කීර්තිය, නින්දාව, ප්‍රසංසාව, සැප, දුක යනමේ ධර්ම අට පිරිසිඳ දත යුත්තාහුය.

“කවර නම් ධර්ම අටක් දුරු කටයුත්තාහුද? වැරදි ස්වභාවයෝ අටය, වැරදි දෘෂ්ටිය, වැරදි කල්පනාව, වැරදි වචනය, වැරදි කර්මාන්තය, වැරදි ආජීවය, වැරදි ව්‍යායාමය වැරදි ස්මෘතිය, වැරදි සමාධිය යන මේ ධර්ම අට දුරු කටයුත්තාහුය.

“කවර නම් ධර්ම අටෙක් ගුණයෙන් පිරිහීම පිණිස පවත්නාහුද? කුසීත වස්තු අටක් වෙත්. ඇවැත්නි, මේ ශාසනයෙහි මහණහු විසින් (සිවුරු ආදිය පිළිබඳ) කළයුතු වැඩ ඇත්තේ වෙයි. ඔහුට මෙබඳු සිතක් වෙයි. මා විසින් කළයුතු වැඩ ඇත්තේය. වැඩ කරන්නාවූ මාගේ ශරීරය ක්ලාන්ත වන්නේය. එබැවින් මම නිදාගන්නෙමියි හෙතෙම නිදාගනියි. නොපැමිණි ධ්‍යාන මාර්ගඵලයට පැමිණීම පිණිස, නොලබන ලද ධ්‍යාන ආදිය ලැබීම පිණිස, නොදුටු ධ්‍යානඵල ආදිය දකිනු පිණිස උත්සාහ නොකරයි. මේ පළමුවෙනි කුසීත වස්තුවයි.

“නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, මහණහු විසින් වැඩක් කරණ ලද්දේ වෙයි. ඔහුට මෙබඳු සිතක් වෙයි. මම වැඩක් කෙළෙමි. වැඩක් කළාවූ මාගේ ශරීරය වෙහෙස විය. එබැවින් මම නිදාගන්නෙමියි හෙතෙම නිදාගනියි. නොපැමිණි මාර්ගඵලාදියට පැමිණීම පිණිස, නොලැබූ ධ්‍යානාදිය ලැබීම පිණිස, නොදුටු මාර්ගඵලාදිය දකිනු පිණිස උත්සාහ නොකරයි. මේ දෙවෙනි කුසීත වස්තුවයි.

“නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, මහණහු විසින් යායුතු ගමනක් ඇත්තේය. ඔහුට මෙබඳු සිතක් වෙයි. යායුතු ගමනක් ඇත්තේය. යන්නාවූ මාගේ ශරීරය වෙහෙස වන්නේය. එබැවින් මම නිදා ගන්නෙමියි හෙතෙම නිදාගනියි. නොපැමිණි ධ්‍යාන ආදියට පැමිණීම පිණිස, නොලබනලද ධ්‍යාන ආදිය ලැබීම පිණිස, නොදුටු ධ්‍යාන ආදිය දැකීම පිණිස උත්සාහ නොකරයි. මේ තුන්වෙනි කුසීත වස්තුවයි.

“නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, මහණහු විසින් ගමනක් යන ලද්දේ වේද, ඔහුට මෙබඳු සිතක් වෙයි. මම ගමනක් ගියෙමි. ගමනක් ගියාවූ මාගේ ශරීරය වෙහෙස විය. එබැවින් මම නිදාගන්නෙමියි, හෙතෙම නිදාගනියි. නොපැමිණි ධ්‍යාන ආදියට පැමිණීම පිණිස නොලබන ලද ධ්‍යාන ආදිය ලැබීම පිණිස නොදුටු ධ්‍යාන ආදිය දැකීම පිණිස උත්සාහ නොකරයි. මේ සතරවන කුසීත වස්තුවයි.

“නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, මහණතෙම ගමක හෝ නියම්ගමක හෝ පිඬු පිණිස හැසිරෙන්නේ කටුකවූ හෝ මිහිරිවූ හෝ භොජනයක් සෑහෙන පමණ නොලබයි. ඔහුට මෙබඳු සිතක් වෙයි. මම ගමක හෝ නියම්ගමක හෝ පිඬු පිණිස ඇවිද කටුකවූ හෝ මිහිරිවූ හෝ භොජනයක් සෑහෙන පමණ නොලැබුවෙමි. ඒ මාගේ ශරීරය වෙහෙස විය, ක්ලාන්ත විය, එබැවින් මම නිදාගන්නෙමියි හෙතෙම නිදාගනියි. නොපැමිණි ධ්‍යාන ආදියට පැමිණීම පිණිසද නොලැබූ ධ්‍යාන ආදිය ලැබීම පිණිසද උත්සාහ නොකරයි. මේ පස්වෙනි කුසීත වස්තුවයි.

“නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, මහණ තෙම ගමක හෝ නියම් ගමක හෝ පිඬු පිණිස ගොස් කටකවූ හෝ මිහිරිවූ හෝ භොජනයක් සෑහෙන පමණ ලබයි. ඔහුට මෙබඳු සිතක් වෙයි. මම ගමක හෝ නියම් ගමක හෝ පිඬු පිණිස ගොස් කටුකවූ හෝ මිහිරිවූ හෝ භොජනයක් සෑහෙන පමණ ලදිමි. ඒ මාගේ ශරීරය බරවූයේ කටයුතු කිරීමට අසමර්ථවූයේ වේ. පොඟවනලද මෑඇට යම්සේ බරවන්නේද, එමෙනි. එබැවින් මම නිදාගන්නෙමියි හෙතෙම නිදා ගනියි. නොපැමිණි ධ්‍යාන ආදියට පැමිණීම පිණිසද, නොලැබූ ධ්‍යාන ආදිය ලැබීම පිණිසද, නොදුටු ධ්‍යාන ආදිය දකිණු පිණිසද උත්සාහ නොකරයි. මේ සයවෙනි කුසීත වස්තුවයි.

“නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, මහණහට සුළු අසනීපයක් හටගත්තේ වෙයිද, ඔහුට මෙබඳු සිතක් වෙයි. මට සුළු අසනීපයක් වැළඳුනේ වෙයි, නිදන්ට සුදුසුකම් ඇත්තේය. එබැවින් මම නිදාගනිමියි හෙතෙම නිදයි. නොපැමිණි ධ්‍යාන ආදියට පැමිණීම පිණිසද නොලැබූ ධ්‍යාන ආදිය ලැබීම පිණිසද, නොදුටු ධ්‍යාන ආදිය දකිනු පිණිසද වීර්යය නොකරයි. මේ සත්වෙනි කුසීත වස්තුවයි.

“නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, මහණ තෙම ගිලන්කමින් නැගිටියි. ගිලන්කමින් නැගී සිටි නොබෝ කල් ඇත්තේ වෙයි, ඔහුට මෙබඳු සිතක් වෙයි. මම ගිලන්කමින් නැගී සිටියේ, ගිලන් බැවින් නැගී සිටි නොබෝකල් ඇත්තේ වෙමි. ඒ මාගේ ශරීරය දුර්වල වූයේ කටයුතු කිරීමට අසමර්ථ වූයේ වෙමි. නිදාගන්ට සුදුසුකම් ඇත්තේය. එබැවින් මම නිදාගනිමියි හෙතෙම නිදාගනියි. නොපැමිණි ධ්‍යාන ආදියට පැමිණීම පිණිසද නොලැබූ ධ්‍යාන ආදිය ලැබීම පිණිසද නොදුටු ධ්‍යාන ආදිය දැකීම පිණිසද වීර්යයනොකරයි. මේ අටවෙනි කුසීත වස්තුවයි. (යන අටයි)

“කවර නම් ධර්ම අටක් විශෙෂ ගුණ ඉපදවීම පිණිස වන්නාහුද, වීර්යය කිරීමේ කරුණු අටය. ඇවැත්නි, මේ සස්නෙහි මහණහු විසින් වත් පිළිවෙත් කටයුතු වෙයි. ඔහුට මෙබඳු සිතක් වෙයි. මා විසින් සිවුරු කිරීම් ආදි කළයුතු වැඩ ඇත්තේය. කටයුතු කරන්නාවූ මට බුදුන් වහන්සේගේ අවවාදය සිහිකිරීම අමාරු වෙයි. එබැවින් මම නොපැමිණි ධ්‍යාන ආදියට පැමිණීම පිණිසද නොලැබූ ධ්‍යාන ආදිය ලැබීම පිණිසද නොදුටු ධ්‍යාන ආදිය දැකීම පිණිසද වීර්යයකරමියි හෙතෙම නොපැමිණි ධ්‍යාන ආදියට පැමිණීම පිණිස නොලැබූ ධ්‍යාන ආදිය ලැබීම පිණිස නොදුටු ධ්‍යාන ආදිය දැකීම පිණිස උත්සාහ කරයි. මේ පළමුවෙනි වීර්යය වස්තුවයි.

“නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, මහණහු විසින් කටයුතු කරණ ලද්දේ වෙයි. ඔහුට මෙබඳු සිතක් වෙයි. මම කටයුතු කෙළෙමි. කටයුතු කරන්නාවූ මම බුදුන්ගේ අවවාදය සිහි කරන්ට නොහැකි වීමි, එබැවින් මම නොපැමිණි ධ්‍යාන ආදියට පැමිණීම පිණිසද නොලැබූ ධ්‍යාන ආදිය ලැබීම පිණිසද නොදුටු ධ්‍යාන ආදිය දැකීම පිණිසද වීර්යය කරමියි හෙතෙම නොපැමිණි මාර්ගඵලාදියට පැමිණීම පිණිස, නොලත් ධ්‍යානාදිය ලැබීම පිණිස, නොදුටු මාර්ගඵලාදිය දකිනු පිණිස වීර්යය කරයි. මේ දෙවෙනි වීර්යය වස්තුවයි.

“නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, මහණහු විසින් ගමනක් යායුතු වෙයි. ඔහුට මෙබඳු සිතක් වෙයි, මා විසින් ගමනක් යායුතු වන්නේය, මාර්ගයෙහි යන්නාවූ මා විසින් බුදුන්ගේ අවවාදය සිහි කරන්ට පහසු නොවෙයි. එබැවින් මම නොපැමිණි මාර්ගඵලාදියට පැමිණීම පිණිසද, නොලත් ධ්‍යානාදිය ලැබීම පිණිසද, නොදුටු මාර්ග ඵලාදිය දකිණු පිණිසද වීර්යයකරමියි හෙතෙම නොපැමිණි මාර්ගඵලාදියට පැමිණීම පිණිසද, නොලත් ධ්‍යානාදිය ලැබීම පිණිසද නොදුටු මාර්ගඵලාදිය දකිනු පිණිසද වීර්යය කරයි. මේ තුන්වෙනි වීර්යය වස්තුවයි.

“නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, මහණහු විසින් ගමනක් යන ලද්දේ වෙයි. ඔහුට මෙබඳු සිතක් වෙයි. ‘මම ගමනක් ගියෙමි. මග යන්නාවූ මම බුදුන්ගේ අවවාදය සිහි කරන්ටනොහැකි වීමි. එබැවින් මම නොපැමිණි මාර්ග ඵලාදියට පැමිණීම පිණිසද, නොලත් ධ්‍යානාදිය ලැබීම පිණිසද, නොදුටු මාර්ගඵලාදිය දකිනු පිණිසද වීර්යය කරමියි. හෙතෙම නොපැමිණි මාර්ගඵලාදියට පැමිණීම පිණිස, නොලත් ධ්‍යානාදිය ලැබීම පිණිස, නොදුටු මාර්ග ඵලාදිය දකිනු පිණිස වීර්යය කරයි. මේ සතරවෙනි වීර්යය වස්තුවයි.

“නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, මහණ තෙම ගමක හෝ නියම් ගමක හෝ පිඬු පිණිස ගොස් කටුකවූ හෝ මිහිරිවූ හෝ භොජනයක් ඇතිතාක් නොලබයි. ඔහුට මෙබඳු සිතක් වේ. ‘මම ගමකට හෝ නියම්ගමකට හෝ පිඬු පිණිස ගොස් කටුකවූ හෝ මිහිරිවූ හෝ භෝජනයක් ඇති තාක් නොලදිමි. ඒ මාගේ ශරීරය සැහැල්ලු වූයේ කටයුතු කිරීමට සුදුසු වූයේ වෙයි. එබැවින් මම නොපැමිණි මාර්ගඵලාදියට පැමිණීම පිණිසද, නොලත් ධ්‍යානාදිය ලැබීම පිණිසද, නොදුටු මාර්ග ඵලාදිය දකිණු පිණිසද වීර්යය කරමියි හෙතෙම නොපැමිණි මාර්ග ඵලාදියට පැමිණීම පිණිසද නොලැබූ ධ්‍යාන ආදිය ලැබීම පිණිසද නොදිටු මාර්ගඵලාදිය දකිනු පිණිසද උත්සාහ කරයි. මේ පස්වෙනි වීර්යය වස්තුවයි.

“නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, මහණ තෙම ගමක හෝ නියම් ගමක හෝ පිඬු පිණිස ගොස් කටුකවූ හෝ මිහිරිවූ හෝ භොජනයක් ඇතිතාක් ලබයි. ඔහුට මෙබඳු සිතක් වෙයි. මම වනාහි ගමකට හෝ නියම් මගකට හෝ පිඬු පිණිස ගියේ කටුකවූ හෝ මිහිරිවූ හෝ භොජනයක් ඇතිතාක් ලැබුවෙමි. ඒ මාගේ ශරීරය බලවත් වූයේ කටයුතු කිරීමට සමර්ථ වේ. එබැවින් මම නොපැමිණි මාර්ගඵලාදියට පැමිණීම පිණිසද, නොලැබූ ධ්‍යානාදිය ලැබීම පිණිසද, නොදුටු මාර්ග ඵලාදිය දකිණු පිණිසද වීර්යය කරමියි හෙතෙම නොපැමිණි මාර්ගඵලාදියට පැමිණීම පිණිස, නොලැබූ ධ්‍යානාදිය ලැබීම පිණිස, නොදුටු මාර්ගඵලාදිය දකිනු පිණිස වීර්යය කරයි. මේ හයවෙනි වීර්යය වස්තුවයි.

“නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, භික්ෂුහට සුලු අසනීපයක් හටගත්තේ වේ. ඔහුට මෙබඳු සිතක් වේ. ‘මට මේ ස්වල්ප අසනීපයක් උපන්නේ වෙයි. මේ අසනීපය වැඩිවන්නට හේතු ඇත්තේය. එබැවින් මම නොපැමිණි මාර්ගඵලාදියට පැමිණීම පිණිස, නොලද ධ්‍යානාදිය ලැබිම පිණිස, නොදුටු මාර්ගඵලාදිය දකිනු පිණිස වීර්යය කරමියි’ හෙතෙම වීර්යය කරයි. මේ සත්වෙනි වීර්යය වස්තුවයි.

“නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, මහණ තෙම ගිලන්කමින් නැගී සිටියේ, ගිලන්කමින් නැගීසිටි නොබෝ කල් ඇත්තේ වෙයි, ඔහුට මෙබඳු සිතක් වෙයි. ‘මම ගිලන්කමින් නැගී සිටියේ, ගිලන්කමින් නැගී සිටි නොබෝ කල් ඇත්තේ වෙමි. මේ අසනීපය නැවත ඇතිවන්නට ඉඩ ඇත්තේය. එබැවින් මම නොපැමිණි මාර්ගඵලාදියට පැමිණීම පිණිස, නොලැබූ ධ්‍යානාදිය ලැබීම පිණිස, නොදුටු මාර්ගඵලාදිය දකිනු පිණිස වීර්යය කරමියි’ උත්සාහ කරයි. මේ අටවෙනි වීර්යය වස්තුවයි. මේ ධර්ම අට ගුණ විශෙෂ පිණිස වන්නාහ.

“කවර නම් ධර්ම අටක් දුකසේ දැනගත යුත්තාහුද? බ්‍රහ්මචරිය වාසයට නුසුදුසුවූ අකල් අටය. ඇවැත්නි, මේ ලොකයෙහි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේද ලොව උපන්නේ වෙයි. කෙලෙස් සංසිඳුවන්නාවූ, කෙලෙස් නැතිකිරීමෙන් පිරිනිවීම පිණිස පවත්නාවූ සතර මාර්ගඥාන අවබොධය කරා යන්නාවූ සුගතයන්වහන්සේ විසින් දැන වදාළාවූ ධර්මයද දෙශනා කරනු ලැබේ. මේ පුද්ගලයා නිරයෙහි උපන්නේ වෙයි. (එහෙයින් ඒ) බ්‍රහ්මචරිය වාසයට නුසුදුසුවූ පළමුවන අකාලය වෙයි.

“නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේද ලොව උපන්නේ වෙයි. කෙලෙස් සංසිඳුවන්නාවූ, කෙලෙස් නැතිකිරීමෙන් පිරිනිවීම පිණිස පවත්නාවූ සතර මාර්ගඥාන අවබොධය කරා යන්නාවූ සුගතයන් වහන්සේ විසින් දැන වදාළාවූ ධර්මයද දෙශනා කරණු ලැබේ. මේ පුද්ගල තෙමේද තිරිසන් යෝනියෙහි උපන්නේ වෙයි. (එහෙයින්) බ්‍රහ්මවරිය වාසයට නුසුදුසුවූ මේ දෙවෙනි අකාලයයි.

“නැවත අනිකක්ද කියමි, ඇවැත්නි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේද ලොව උපන්නේ වෙයි. කෙලෙස් සංසිඳුවන්නාවූ සහමුලින් කෙලෙස් නැති කිරීමෙන් පිරිනිවීම පිණිස පවත්නාවූ සතර මාර්ගඥාන අවබොධය කරා යන්නාවූ සුගතයන්වහන්සේ විසින් දැන වදාළාවූ ධර්මයද දෙශනා කරනු ලබයි. මේ පුද්ගලතෙමේද ප්‍රෙත ලොකයෙහි උපන්නේ වෙයි. බ්‍රහ්ම චරිය වාසයට නුසුදුසුවූ මේ තුන්වෙනි අකාලයයි.

“නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේද, ලොව උපන්නේ වෙයි. කෙලෙස් සංසිඳුවන්නාවූ සහමුලින් කෙලෙස් නැති කිරීමෙන් පිරිනිවීම පිණිස පවත්නාවූ සතර මාර්ග ඥානය කරා ගමන් කරන්නාවූ සුගතයන් වහන්සේ විසින් දැන වදාළාවූ ධර්මයද දෙශනා කරනු ලැබෙයි. මේ පුද්ගලතෙමේද දීර්ඝ ආයුෂ ඇති අසඤ්ඤතලයෙහි හෝ අරූප තලයෙහි හෝ උපන්නේ වෙයි. බ්‍රහ්මචරිය වාසයට නුසුදුසුවූ මේ සතරවෙනි අකාලයයි.

“නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේද, ලොව උපන්නේ වේද. කෙලෙස් සංසිවඳුන්නාවූ සහමුලින් කෙලෙස් නැති කිරීමෙන් පිරිනිවීම පිණිස පවත්නාවූ සතර මාර්ග ඥානය කරා ගමන් කරන්නාවූ සුගතයන් වහන්සේ විසින් දැන වදාළාවූ ධර්මයද දෙශනා කරනු ලැබේද. යම් තැනක භික්ෂූන්ගේද භික්ෂුණීන්ගේද උපාසකයන්ගේද උපාසිකාවන්ගේද පැමිණීමක් නැත්තේද, එබඳුවූ ම්ලෙච්ඡවූ අප්‍රසිද්ධවූ, පිටිසර පෙදෙස්වල මේ පුද්ගල තෙමේ උපන්නේ වේද බ්‍රහ්මචරිය වාසයට නුසුදුසුවූ මේ පස්වෙනි අකාලය වේ.

“නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේද, ලොව උපන්නේ වේ. කෙලෙස් සංසිවඳුන්නාවූ සතර මාර්ගඥානය අවබොධය කරා ගමන්කරන්නාවූ සුගතයන් වහන්සේ විසින් දැන වදාළාවූ ධර්මයද දෙශනා කරනු ලබයි. මේ පුද්ගලයාද මධ්‍ය දෙශයෙහි ඉපදුනේ වෙයි, හෙතෙමේද පෙරළුණු දැකුම් ඇති මිථ්‍යාදෘෂ්ටියෙක් වේ. එනම් දීමෙහි විපාක නැත. මහදන් දීමෙහි විපාක නැත. පිදීමෙහි විපාක නැත. යහපත් අයහපත් වශයෙන් කරණලද කර්මයන්ගේ ඵලයක් විපාකයක් නැත, මෙලොවක් නැත, පරලොවක් නැත, මවූට උපකාර කිරීමේ ඵල නැත, පියාට උපකාර කිරීමේ ඵල නැත, මැරී උපදින්නාවූ සත්වයෝ නැත. යම් කෙනෙක් මෙලොවද පරලොවද තෙමේ හොඳ නුවණින් දැන අවබොධ කොට ප්‍රකාශ කෙරෙද්ද, එබඳුවූ හොඳ මාර්ගයෙහි ගමන්කළාවූ හොඳ පිළිවෙත පිළිපදින්නාවූ මහණ බමුණෝ ලොකයෙහි නැත කියායි. මේ බ්‍රහ්මචරිය වාසයට නුසුදුසු කාලයවූ සයවෙනි අකාලයයි.

“නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගත තෙමේද ලොව උපන්නේ වෙයි. කෙලෙස් සංසිඳුවන්නාවූ, සහමුලින් කෙලෙස් නැති කිරීමෙන් පිරිනිවීම පිණිස පවත්නාවූ, සතර මාර්ගඥානය අවබොධය කරා ගමන් කරන්නාවූ සුගතයන්වහන්සේ විසින් දැන වදාළාවූ ධර්මයද දෙශනා කරනු ලැබේ. මේ පුද්ගලයාද මධ්‍ය දෙශයෙහි උපන්නේ වෙයි. හෙතෙමේද මෝඩවූ කෙල තොලුවූ හොඳ නරක කියුම්වල අර්ථය දැන ගන්නට බැරි නුවණ නැත්තෙක් වේ. මේ බ්‍රහ්මචරිය වාසයට සුදුසුනොවූ සත්වෙනි අකාලයයි.

“නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගත තෙමේද ලොව නූපන්නේ වෙයි. කෙලෙස් සංසිඳුවන්නාවූ, සහමුලින් කෙලෙස් නැතිකිරීමෙන් පිරිනිවීම පිණිස පවත්නාවූ, සතර මාර්ගඥානාවබොධය පිණිස පවත්නාවූ සුගතයන් වහන්සේ විසින් දැන වදාළාවූ ධර්මයද දෙශනා කරණු නොලැබේ. මේ පුද්ගල තෙමේද මධ්‍යම දෙශයෙහි ඉපදුනේ වෙයි. හෙතෙමේද මෝඩ නුවූ, කෙලතොලු නොවූ හොඳ නරක කියුම්වල අර්ථය දැනගන්ට සමර්ථවූ නුවණැත්තෙක් වෙයි. මේ බ්‍රහ්මචරියවාසයට නුසුදුසුවූ අටවෙනි අකාලයයි. මේ ධර්ම අට ප්‍රතිවෙධ කිරීම දුෂ්කරය.

“ඇවැත්නි, කවරනම් ධර්ම අටක් ඉපදවිය යුත්තාහුද? මහා පුරුෂ කල්පනා අටය, මේ ධර්මය තෙමේ අල්පෙච්ඡ (ටිකකින් සතුටුවන) පුද්ගලයාහට වන්නේය. මේ ධර්මය ප්‍රත්‍යය ආදිය බොහෝ කැමති වන්නාහට නොවේ. මේ ධර්මය තෙමේ සන්තුෂ්ට (ලද පමණින් සතුටුවන) පුද්ගලයාහට වන්නේය. මේ ධර්මය තෙමේ අසන්තුෂ්ටයා (ලද පමණින් සතුටු නොවන) හට නොවේ. මේ ධර්මය තෙමේ උසස් විවේක ඇත්තාහටය. මේ ධර්මය තෙමේ සංගණිකා රාමයෙහි (පිරිස් හා කෙලෙස් අතර) ඇලුනහුට නොවේ. මේ ධර්මය පටන් ගත් වීර්‍ය්‍ය ඇත්තාහටය. මේ ධර්මය කුසීතයා හට නොවේ. මේ ධර්මය තෙමේ එළඹසිටි සිහිඇත්තාහුටය. මේ ධර්මය මුළාවූ සිහිඇත්තහුට නොවේ. මේ ධර්මය තෙමේ එකඟවූ සිත් ඇත්තාහටය. මේ ධර්මය තෙමේ එකඟවුනු සිත් ඇත්තහුට නොවේ. මේ ධර්මය අඥානයාහට නොවේ. මේ ධර්මය තෙමේ නුවණැත්තා හටය, මේ ධර්මය ප්‍රමාද නුවූවහුටය. මේ ධර්මය තෙමේ ප්‍රමාද වාසයෙහි යෙදුනහුට නොවේ. මේ ධර්මය නිෂ්ප්‍රපඤ්චයෙහි (තණ්හා දිට්ඨි මානයන් කරණ කොට ප්‍රමාද නොවී මෙහි) ඇලුනහුටය. මේ ධර්මය තෙමේ තණ්හා දිට්ඨි මාන යන ප්‍රමාදයෙහි ඇළුනහුට නොවන්නේයි. මේ ධර්ම අට ඉපදවිය යුත්තාහුය.

“කවර නම් ධර්ම අටෙක් නුවණින් දතයුත්තාහුද? අෂ්ට අභිභායතනයෝයි. තමා කෙරෙහි රූප සංඥා ඇති, එක් පුද්ගලයෙක් ස්වල්පවූ යහපත් වර්ණ ඇති, අයහපත් වර්ණ ඇති පිටත්හි රූපයන් දකියි. ඔවුන් මැඩ පවත්වා, දනිමි දකිමියි, යන සංඥා ඇත්තේ වේ. මේ පළමුවෙනි අභිභායතනයයි.

“තමාකෙරෙහි අරූප සංඥා ඇති පුද්ගලයෙක් අප්‍රමාණවූ යහපත් වර්ණ ඇති, අයහපත් වර්ණ ඇති, පිටත්හි රූපයන් දකියි. ඔවුන් මැඩගෙන දනිමි දකිමියි යන සංඥා ඇත්තේ වෙයි. මේ දෙවෙනි අභිභායතනයයි.

“තමා කෙරෙහි අරූප සංඥා ඇති පුද්ගලයෙක් ස්වල්පවූ යහපත් වර්ණ ඇති, අයහපත් වර්ණ ඇති පිටත්හි රූපයන් දකියි. ඔවුන් මැඩගෙන දනිමි දකිමියි යන සංඥා ඇත්තේ වේ. මේ තුන්වෙනි අභිභායතනයයි.

“තමා කෙරෙහි අරූප සංඥා ඇති පුද්ගලයෙක් අප්‍රමාණවූ යහපත් වර්ණ ඇති අයහපත්ව වර්ණ ඇති පිටත්හි රූපයන් දකියි. ඔවුන් මැඩගෙන දනිමි දකිමියි යන සංඥා ඇත්තේ වේ. මේ සතරවන අභිභායතනයයි.

“තමා කෙරෙහි අරූප සංඥා ඇති පුද්ගලයෙක් නිල්වූ නිල්පාට ඇත්තාවූ නිල් පෙනීම ඇත්තාවූ නිල් බැබලුම් ඇත්තාවූ පිටත්හි රූපයන් දකියි. දියබෙරලිය මල යම්සේ නිල්වේද, නිල්පාට ඇත්තේද, නිල් පෙනීම ඇත්තේද නිල් බැබලුම් ඇත්තේද, බරනැස් වස්ත්‍රය දෙපසින් මට්ටම් කරණ ලද්දේ හෙවත් මඩනා ලද්දේ යම්සේ නිල්වේද, නිල්පාට වේද, නිල් පෙනීම් නිල් බැබලුම් ඇත්තේද, එපරිද්දෙන්ම තමා කෙරෙහි අරූප සංඥා ඇති පුද්ගලයෙක් නිල්වූ නිල්පාට ඇත්තාවූ, නිල් පෙනීම් ඇත්තාවූ පිටත්හි රූපයන් දකියි. ඒ රූපයන් මැඩගෙන දනිමි දකිමි යන සංඥාඇත්තේ වේ. මේ පස්වෙනි අභිභායතනයයි.

“තමා කෙරෙහි අරූප සංඥා ඇති එක් පුද්ගලයෙක් රන්වන්වූ රන්වන් පැහැ ඇත්තාවූ රන්වන් පෙනීම ඇත්තාවූ රන්වන් බැබලුම් ඇත්තාවූ පිටත්හි රූපයන් දකියි. කිණිහිරිමල යම්සේ රන්වන් වේද රන්වන් පැහැ ඇත්තේද, රන්වන් පෙනීම ඇත්තේද රන්වන් බැබලුම් ඇත්තේද, බරණැස්හිවූ දෙපැත්තෙන් මට්ටම්කරණ ලද, වස්ත්‍රය රන්වන් වේද, රන්වන් පැහැ ඇත්තේද, රන්වන් දැකුම් ඇත්තේද, රන්වන් බැබලුම් ඇත්තේද, එමෙන්ම තමා කෙරෙහි අරූප සංඥා ඇති පුද්ගලයෙක් රන්වන්වූ, රන්වන්පාට ඇති, රන්වන් පෙනීම ඇත්තාවූ රන්වන් බැබලුම් ඇත්තාවූ පිටත්හි රූපයන් දකියි. ඔවුන් මැඩගෙන දනිමි දකිමි යන සංඥා ඇත්තේවෙයි. මේ සයවෙනි අභිභායතනයයි.

“තමා කෙරෙහි අරූප සංඥා ඇති පුද්ගලයෙක් ලේ පාටවූ ලේපාට පැහැ ඇති ලේපාට පෙනීම ඇති ලේපාට බැබලුම් ඇති පිටත්හි රූපයන් දකියි. බඳුවදමල යම්සේ ලේවන් වේද ලේවන් පාට ඇත්තේද, ලේවන් පෙනීම ඇත්තේද, ලේවන් බැබලුම් ඇත්තේද, බරණැසෙහිවූ දෙපැත්තෙන් හොඳාකාර මට්ටම් කරණ ලද ලේවන්වූ වස්ත්‍රය යම්සේ ලේවන් පාට ඇත්තේද, ලේවන් පෙනීම ඇත්තේද ලේවන් බැබලුම් ඇත්තේද, එපරිද්දෙන්ම තමා කෙරෙහි අරූප සංඥා ඇති පුද්ගලයෙක් රතුවූ රතුපාට ඇත්තාවූ රතුපාට පෙනීම ඇත්තාවූ රතු පාට බැබලුම් ඇත්තාවූ පිටත්හි රූපයන් දකියි. ඒ රූපයන් මැඩගෙන දනිමි දකිමි යන සංඥා ඇත්තේ වේ. මේ සත්වෙනි අභිභායතනයයි.

“තමා කෙරෙහි අරූපසංඥා ඇති පුද්ගලයෙක් සුදුවූ සුදුපාට ඇත්තාවූ සුදු පෙනීම ඇත්තාවූ සුදු බැබලුම් ඇත්තාවූ පිටත්හි රූපයන් දකියි. දවහත් (සිකුරු) තරුව යම්සේ සුදුද සුදුපාට ඇත්තීද සුදු පෙනීම ඇත්තීද සුදු බැබලුම් ඇත්තීද බරණැසවූ දෙපසින් මට්ටම් කරණ ලද්දාවූ සුදුවූ වස්ත්‍රය යම්සේ සුදුපාට ඇත්තේද, සුදු පෙනීම ඇත්තේද, සුදු බැබලුම් ඇත්තේද එපරිද්දෙන්ම තමා කෙරෙහි අරූප සංඥා ඇති පුද්ගලයෙක් සුදුවූ සුදු වර්ණ ඇත්තාවූ සුදු පෙනීම ඇත්තාවූ සුදු බැබලීම් ඇත්තාවූ පිටත්හි රූපයන් දකියි. ඒ රූපයන් මැඩගෙන දනිමි දකිමි යන සංඥා ඇත්තේ වෙයි. මේ අටවෙනි අභිභායතනයයි. මේ ධර්ම අට විශෙෂ නුවණින් දතයුත්තාහුය.

“කවර නම් ධර්ම අටක් තමාම ප්‍රත්‍යක්ෂකොට දැක්ක යුතු වන්නාහුද? විමොක්ෂ අටය. රූපාවචරධ්‍යානයෙන් යුක්ත වූයේ රූප දකියි. මෙය පළමුවෙනි විමොක්ෂය වන්නේය. තමා කෙරෙහි අරූප සංඥා ඇත්තේ පිටත්හි රූපයන් දකියි. මේ දෙවෙනි විමොක්ෂයයි. සුභයයිම තීරණය කර ගත්තේ වෙයි, මේ තුන්වෙනි විමොක්ෂයයි. සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් හැපීම්සංඥාවන් නැසීමෙන් වෙන් වෙන් සංඥාවන් කල්පනා නොකිරීමෙන් ආකාශය අනන්තයයි. ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරයි. මේ සතරවෙනි විමොක්ෂයයි. සියලු ආකාරයෙන් ආකාසනඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරයි, මේ පස්වෙනි විමොක්ෂයයි. සියලු ආකාරයෙන් විඤ්ඤානඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤාවතනයට පැමිණ වාසය කරයි. මේ සවෙනි විමොක්ෂයයි. සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤා නාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. මේ සත්වෙනි විමොක්ෂයයි. සියලු ආකාරයෙන් නෙවසඤ්ඤා නාසඤ්ඤායතනය ඉක්මවා සංඥා වෙදයිත නිරොධයට (නිරොධ සමාපත්තියට) පැමිණ වාසය කරයි. මේ අටවෙනි විමොක්ෂයයි. මේ අෂ්ට ධර්මයෝ ප්‍රත්‍යක්ෂ කටයුත්තාහුය.

“මෙසේ ඇත්තාවූද සත්‍යවූද එසේමවූද වෙනස් නොවන්නාවූද අන්පරිද්දකින් නොවන්නාවූද මේ අසූවක් ධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් මනාකොට අවබොධ කරණ ලද්දාහුය.

නව ධම්මා

“ධර්ම නවයක් බොහෝ උපකාර වන්නාහුය. ධර්ම නවයක් වැඩිය යුත්තාහුය. ධර්ම නවයක් පිරිසිඳ දතයුත්තාහුය. ධර්ම නවයක් දුරු කටයුත්තාහුය. ධර්ම නවයක් පිරිහීම පිණිස වන්නාහුය. ධර්ම නවයක් ගුණ විශෙෂයට පැමිණීම පිණිස වන්නාහුය. ධර්ම නවයක් දුකසේ අවබොධ කළයුත්තාහ. ධර්ම නවයක් ඉපදවිය යුත්තාහුය. ධර්ම නවයක් විශෙෂ නුවණින් දතයුත්තාහුය. ධර්ම නවයක් තමාම දැන ප්‍රත්‍යක්ෂ කටයුත්තාහුය.

“කවර නම් ධර්ම නවයක් බොහෝ උපකාර වන්නාහුද? නුවණින් මෙනෙහි කිරීම මුල්කොට ඇති ධර්ම නවයයි. නුවණින් මෙනෙහි කරන්නාහට ප්‍රමොද්‍යය (මද සතුට) උපදී. ප්‍රමොද්‍යයවූවහුට ප්‍රීතිය (බලවත් සතුට) උපදී. ප්‍රීති සිත් ඇත්තහුගේ නාමකය සංසිඳේ. සංසිඳුනු නාමකය ඇත්තේ සැප විඳී. සැප ඇත්තහුගේ සිත එකඟ වෙයි. එකඟවූ සිත ඇති කල්හි ඇති සැටියෙන් දකියි. ඇති සැටියෙන් දකින්නේ කළකිරෙයි. කළකිරෙන්නේ නොඇලෙයි. නොඇලෙන්නේ සියලු දුකෙන් මිදෙයි. මේ ධර්ම නවය බොහෝ උපකාර වන්නාහුය.

“කවර නම් ධර්ම නවයක් වැඩිය යුත්තාහුද? පිරිසිදුබවට ප්‍රධානවූ අංග නවයයි. ශීල විසුද්ධිය (සිව් පිරිසුදු සීලය) නම්වූ පිරිසුදු බවට ප්‍රධාන අංගය, චිත්තවිසුද්ධිය (විදර්ශනාවට ආසන්න හෙතුවවූ අෂ්ට සමාපත්ති) නම්වූ පිරිසිදු බවට ප්‍රධාන අංගය, දෘෂ්ටි විශුද්ධිය (ප්‍රත්‍ය සහිතව නාම රූප දැකිම) නම්වූ පිරිසිදු බවට ප්‍රධාන අංගය, කංඛාවිතරණ විශුද්ධිය (නාම රූපයන්ගේ ප්‍රත්‍යය දැකීම) නම් පිරිසිදු බවට ප්‍රධාන අංගය, මාර්ගාමාර්ගඥානදර්ශනවිශුද්ධිය (මග නොමග දැනීම) නම්වූ පිරිසිදු බවට ප්‍රධාන අංගය, ප්‍රතිපදාඥානදර්ශනවිශුද්ධිය (තරුණ විදර්ශනාව) නම් පිරිසිදු බවට ප්‍රධාන අංගය, ඥානදර්ශනවිසුද්ධිය (වුට්ඨානගාමිනී විදර්ශනාව) නම්වූ පිරිසිදු බවට ප්‍රධාන අංගය, ප්‍රඥාවිසුද්ධිය (රහත්ඵල නුවණ) නම් පිරිසිදු බවට ප්‍රධාන අංගය වේ. මේ ධර්ම නවය වැඩියයුත්තාහුය.

“කවර නම් ධර්ම නවයක් පිරිසිඳ දතයුත්තාහුද? සත්වා වාස නවයයි. ඇවැත්නි, මේ ධර්ම නවය පිරිසිඳ දතයුතු වන්නාහ. නොයෙක් ශරීර ඇති නොයෙක් ප්‍රතිසන්ධි විඤ්ඤාණ ඇති සත්වයෝ වෙත්. මනුෂ්‍යයෝද, ඇතැම් දෙවියෝද, ඇතැම් විනිපාතික ප්‍රේතයෝද යම්සේද එමෙනි. මේ පළමුවෙනි සත්වාවාසයයි.

“ඇවැත්නි, වෙනස් ශරීර ඇති සමාන ප්‍රතිසන්ධි විඤ්ඤාණ ඇති සත්වයෝ වෙත්. පළමුවන ධ්‍යානයෙන් උපන්නාවූ බ්‍රහ්මකායික බඹලොව වැසි දෙවියෝ යම්සේද එමෙනි. මේ දෙවෙනි සත්වාවාසයයි.

“ඇවැත්නි, එකසමාන ශරීර ඇති වෙනස් ප්‍රතිසන්ධි විඤ්ඤාණ ඇති සත්වයෝ වෙත්. ආභස්වර දෙවියෝ යම්සේද එමෙනි. මේ තුන්වෙනි සත්වාවාසයයි.

“ඇවැත්නි, එකසමාන ශරීර ඇති එකසමාන ප්‍රතිසන්ධි විඤ්ඤාණ ඇති සත්වයෝ වෙත්. සුභකිණ්හ දෙවියන් මෙනි. මේ සතරවෙනි සත්වාවාසයයි.

“ඇවැත්නි, හැඟීමක් නැත්තාවූ විඳීමක් නැත්තාවූ සත්වයෝ වෙත්. අසඤ්ඤසත්ත දෙවියන් මෙනි. මේ පස්වෙනි සත්වාවාසයයි.

“ඇවැත්නි, සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් ගැටීම් සංඥාවන් නැසීමෙන් නොයෙක් සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ආකාසය අනන්තයයි ආකාසනඤ්චායතනයට පැමිණියාවූ සත්වයෝ වෙත්. මේ සයවෙනි සත්වාවාසයයි.

“ඇවැත්නි, සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා, විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණියාවූ සත්වයෝ වෙත්. මේ සත්වෙනි සත්වාවාසයයි.

“ඇවැත්නි, සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණියාවූ සත්වයෝ වෙත්. මේ අටවෙනි සත්වාවාසයයි.

“ඇවැත්නි, සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණියාවූ සත්වයෝ වෙත්. මේ නවවන සත්වාවාසයයි. මේ පිරිසිඳ දතයුතු ධර්ම නවය වන්නාහ.

“කවර නම් ධර්ම නවයක් දුරු කටයුත්තාහුද? තෘෂ්ණාව මුල්කොට ඇති ධර්ම නවයයි. තෘෂ්ණාව නිසා සෙවීම වන්නේය. සෙවීම නිසා ලාභය වන්නේය. ලාභය නිසා විනිශ්චය වන්නේය. විනිශ්චය නිසා ඡන්දරාගය (ඇල්ම) වන්නේය. ඡන්ද රාගය නිසා අනුභවය වන්නේය. අනුභවය නිසා පරිග්‍රහණය (අයිතිකර ගැනීම) වන්නේය. පරිග්‍රහණය නිසා මසුරු බව වන්නේය. මසුරු බව නිසා ආරක්ෂා කිරීම වන්නේය. ආරක්ෂා කිරීම නිසා දඬු ගැනුම්, ආයුධ ගැනුම් කෝලාහල විවාද කේලාම් බොරුකීම්ද නොයෙක් ලාමක අකුශල කර්මයෝද වෙත්. මේ ධර්ම නවය දුරුකට යුත්තාහුය.

“කවර නම් ධර්ම නවයක් හානභාගිය වන්නාහුද? ක්‍රොධ කරුණු නවයයි. ‘මට අවැඩක් කෙළේයයි,’ ක්‍රොධය බඳියි. ‘මට අවැඩක් කරයි කියා’ ක්‍රොධය බඳියි. ‘මට අවැඩක් කරන්නේ යයි කියා’ ක්‍රොධය බඳියි. ‘මාගේ ප්‍රියවූ මනාපවූවහුට අවැඩක් කළේය. අවැඩක් කරයි. අවැඩක් කරන්නේයයි’ ක්‍රොධය බඳියි. ‘මාගේ අප්‍රියවූ අමනාප වූවහුට යහපතක් කෙළේය. යහපතක් කරයි.’ යහපතක් කරන්නේයයි ක්‍රොධය බඳියි.

“ක්‍රොධය දුරුකිරීම් නවයක් වෙත්. ‘මට අවැඩක් කළේය. ඒ අනිකාගේ අවැඩ නොකිරීම මා විසින් කෙසේ ලැබිය හැකිදැයි’ සිතා ක්‍රොධය දුරු කරයි. ‘මට අවැඩක් කරයි, ඒ අනිකාගේ අවැඩ නොකිරීම මා විසින් කෙසේ ලැබිය හැකිදැයි’ සිතා ක්‍රොධය දුරු කරයි. ‘මට අවැඩක් කරන්නේය. ඒ අනිකාගේ අවැඩ නොකිරීම මා විසින් කෙසේ ලැබිය හැකිදැයි’ සිතා ක්‍රොධය දුරු කරයි. ‘මාගේ ප්‍රියවූ මනාප වූවහුට අවැඩක් කළේය. අවැඩක් කරයි, අවැඩක් කරන්නේය. ඒ අනිකාගේ අවැඩ නොකිරීම මා විසින් කෙසේ ලැබිය හැකිදැයි’ සිතා ක්‍රොධය දුරු කරයි. ‘මාගේ අප්‍රියවූ අමනාප වූවහුට යහපතක් කළේය. යහපතක් කරයි, යහපතක් කරන්නේය. එසේ අප්‍රියවූවහුට අන්‍යයා විසින් යහපතක් නොකිරීම මා විසින් නොලැබිය හැකියයි සිතා ක්‍රොධය දුරු කරයි. මේ ධර්ම නවය විශෙෂභාගිය නම් වන්නාහුය.

“කවර නම් ධර්ම නවයක් දුකසේ අවබොධ කටයුත්තාහුද? නානත්ව (නොයෙක් බැව්) නවයයි. ඇස ආදි නොයෙක් ධාතු නිසා රූප ආදියෙහි ගැටීම නමැති නොයෙක් ස්පර්ශ උපදියි. නොයෙක් ස්පර්ශ නිසා නොයෙක් වේදනා උපදියි. නොයෙක් වේදනා නිසා නොයෙක් හැඟීම් උපදියි. නොයෙක් හැඟීම් නිසා නොයෙක් කල්පනා උපදියි. නොයෙක් කල්පනා නිසා නොයෙක් ආශා උපදියි. නොයෙක් ආශා නිසා නොයෙක් දැවිලි උපදියි. නොයෙක් දැවිලි නිසා නොයෙක් සෙවීම් උපදියි. නොයෙක් සෙවීම් නිසා නොයෙක් ලාභ උපදියි. නොයෙක් ලාභ නිසා නොයෙක් ලොභ උපදියි. මේ ධර්ම නවය දුකසේ අවබොධ කළ යුත්තාහ.

“කවර නම් ධර්ම නවයක් ඉපදවිය යුත්තාහුද? හැඟීම් නවයයි. අසුභ හැඟීමය, මරණ හැඟීමය, ආහාරයෙහි පිළිකුල් හැඟීමය, සියලු ලෝකයෙහි අනභිරති (නොඇලීම්) හැඟීමය, අනිත්‍ය හැඟීමය, අනිත්‍යයෙහි දුක් හැඟීමය, දුකෙහි අනාත්ම හැඟීමය, දුරු කිරීම් හැඟීමය, නොඇලීම් හැඟීමය යනමේ ධර්ම නවය ඉපදවිය යුත්තාහුය.

“කවර නම් ධර්ම නවයක් විශෙෂ නුවණින් දතයුතු වන්නාහුද? අනුපූර්වවිහරණ (පිළිවෙළින් සමවැදිය යුතු විසීම්) නවයයි. ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිතවූ විචාරසහිතවූ විවෙකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් ද්විතීය ධ්‍යානයට පැමිණ වාසයකරයි. ප්‍රීතියගේද වැළක්මෙන් තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. සැපය දුරුකිරීමෙන් චතුර්ථ ධ්‍යානයට පැමිණ වාසය කරයි. සියලු ආකාරයෙන් රූපසංඥාවන් ඉක්මවීමෙන් ගැටීම් සංඥාවන් නැසීමෙන් නොයෙක් සංඥාවන් සිහි නොකිරීමෙන් අනන්තවූ ආකාසයයි ආකාසානඤ්චායතනයට පැමිණ වාසයකරයි. සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා අනන්තවූ විඤ්ඤාණයයි, විඤ්ඤානඤ්චායතනයට පැමිණ වාසය කරයි. සියලු ආකාරයෙන් විඤ්ඤානඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. සියලු ආකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා, සඤ්ඤාවෙදයිත නිරොධයට (නිරොධ සමාපත්තියට) පැමිණ වාසය කරයි. මේ ධර්ම විශෙෂ නුවණින් දතයුත්තාහුය.

“කවර නම් ධර්ම නවයක් තමාම ප්‍රත්‍යක්ෂ කටයුතු වන්නාහුද? අනුපූර්ව නිරොධ (පිළිවෙළින් නැති කිරීම්) නවයයි. ප්‍රථම ධ්‍යානයට පැමිණියහුගේ කාම හැඟීම නැතිවේ. ද්විතීය ධ්‍යානයට පැමිණියහුගේ විතර්ක විචාරයෝ නැතිවෙත්. තෘතීය ධ්‍යානයට පැමිණියහුගේ ප්‍රීතිය නැතිවේ. චතුර්ථ ධ්‍යානයට පැමිණියහුගේ ආශ්වාස ප්‍රශ්වාසයෝ නැතිවෙත්. ආකාසානඤ්චායතනයට පැමිණියහුගේ රූප සංඥාව නැතිවේ. විඤ්ඤානඤ්චායතනයට පැමිණියහුගේ ආකාසානඤ්චායතන සංඥාව නැතිවේ. ආකිඤ්චඤ්ඤායතනයට පැමිණියහුගේ විඤ්ඤානඤ්චායතන සංඥාව නැතිවේ. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණියහුගේ ආකිඤ්චඤ්ඤායතන සංඥාව නැති වේ. සඤ්ඤාවෙදයිත නිරොධයට පැමිණියහුගේ සංඥාවද විඳීමද නැතිවෙත්. මේ ධර්ම නවය ප්‍රත්‍යක්ෂ කටයුතු වන්නාහුය.

“මෙසේ ඇත්තාවූ සත්‍යවූ එසේමවූ වෙනස් නොවන්නාහු අන් පරිද්දකින් නොවන්නාවූ මේ අනූවක් ධර්මයෝ තථාගතයන් වහන්සේවිසින් මනාව අවබොධ කරණ ලද්දාහුය.

දස ධම්මා

“ධර්ම දශයක් බොහෝ උපකාරවන්නාහුය. ධර්ම දශයක් වැඩිය යුත්තාහුය, ධර්ම දහයක් දුරුකට යුත්තාහුය, ධර්ම දශයක් හානභාගික වන්නාහුය, ධර්ම දශයක් විශෙෂ භාගික වන්නාහුය. ධර්ම දශයක් අපහසුවෙන් අවබොධ කළයුතු වන්නාහුය. ධර්ම දශයෙක් ඉපදිය යුත්තාහුය, ධර්ම දශයෙක් විශෙෂ නුවණින් දතයුතු වන්නාහුය. ධර්ම දශයෙක් ප්‍රත්‍යක්ෂ කටයුතු වන්නාහුය.

“කවර නම් ධර්ම දශයෙක් බොහෝ උපකාර වන්නහුද? නාථ කරණ (පිහිටවන) ධර්ම දශයයි.

“ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම සිල්වත්වේ. ප්‍රාතිමොක්ෂ සංවර (ශික්ෂාපද ශීල) යෙන් සංවරවූයේ වාසය කරයි. ආචාර ගොචර දෙකින් සමන්විත වූයේ ස්වල්පවූ වරදෙහිද භය දක්නා ගති ඇතිවූයේ ශික්ෂාපදයන් දැඩි කොට ගෙන් හික්මෙයි.

“ඇවැත්නි, මහණතෙම සිල්වත්වේද ප්‍රාතිමොක්ෂ සංවරයෙන් සංවරව වාසය කෙරේද, ආචාරයෙන් හා ගොචරයෙන් යුක්ත වූයේ ස්වල්පවූද වරදවල භය දක්නේ ශික්ෂා පදයන්හි සමාදන්ව හික්මේය යන යමක් වේද මෙයද තමාට පිහිටවන ධර්මයක් වේ.

“නැවතද අනිකක් කියමි. ඇවැත්නි, මහණතෙම ඇසූදේ දරන්නාවූ, ඇසූදේ රැස්කර හිතේ දරා ගන්නාවූ බොහෝ ඇසූ කෙනෙක් වේ. මුල යහපත්වූද මැද යහපත්වූද, කෙළවර යහපත්වූද, අර්ථ සහිතවූද පද සහිතවූද, යම් ඒ ධර්මකෙනෙක් සියල්ලෙන් සම්පූර්ණවූ පිරිසිදුවූ, බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කෙරෙද්ද එබඳුවූ ධර්මයෝ මොහු විසින් බොහෝ අසන ලද්දාහු දරණ ලද්දාහු වචනයෙන් පුරුදු කරණ ලද්දාහු, සිතින් කල්පනා කරණ ලද්දාහු, ඥානයෙන් හොඳින් අවබෝධ කරණ ලද්දාහු වෙත්. ඇවැත්නි, මහණතෙම ‘බොහෝ ඇසූ කෙනෙක්’ වේද, යම් මේ ධර්මකෙනෙක් මුල යහපත්වූද, මැද යහපත්වූද, කෙළවර යහපත්වූද, අර්ථය සහිතවූද, ව්‍යංජන සහිතවූද, සියල්ලෙන් සම්පූර්ණවූ පිරිසිදුවූ බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශකෙරෙද්ද, එබඳුවූ ධර්මයෝ මොහු විසින් බොහෝ කොට අසන ලද්දාහු, දරණ ලද්දාහු, වචනයෙන් පුරුදු කරන ලද්දාහු, සිතින් කල්පනා කරන ලද්දාහු ඥානයෙන් හොඳින් අවබෝධ කරණ ලද්දාහු වෙත්ද යන යමක් වේද, මේ ධර්මයද තමාට පිහිටවන ධර්මයකි.

“නැවතද අනිකක් කියමි. ඇවැත්නි, මහණතෙම යහපත් මිත්‍රයන් යහළු කොට ඇත්තේ, යහපත් මිත්‍රයන් කෙරෙහි නැමීම ඇත්තේ, යහපත් මිත්‍රයන් ඇත්තේ වේ. ඇවැත්නි, යම් හෙයකින් මහණතෙම යහපත් මිත්‍රයන් ඇත්තේ යහපත් මිත්‍රයන් යහළු කොට ඇත්තේ යහපත් මිත්‍රයන් කෙරෙහි නැමීම ඇත්තේ වේද, මේ ධර්මයද තමාට පිහිට වන ධර්මයකි.

“නැවතද අනිකක් කියමි. ඇවැත්නි, මහණතෙම සුවච බැවින් හෙවත් කියන දේ අසන ගතියෙන් යුක්ත වූයේ, සුවචයෙක්වේ. නොකිපෙන ගති ඇති අනුශාසනාව ආදරයෙන් පිළිගන්නා කෙනෙක් වෙයි. ඇවැත්නි, මහණතෙම සුවචයෙක් වේද නොකිපී අනුශාසනාව ආදරයෙන් පිළිගන්නේ වේද, යන යමක් වේද, මේද තමාට පිහිට වන ධර්මයකි.

“නැවතද අනිකක් කියමි. ඇවැත්නි, මහණතෙම එකට මහණදම් පුරන භික්ෂූන්ගේ යම් ලොකු කුඩා කටයුතු වෙත්ද, එහි දක්ෂ වූයේ කම්මැලි නොවූයේ, ඒ වැඩට යොග්‍ය උපක්‍රම දැනීමෙන් යුක්තවූයේ වැඩ කරන්ටද පිළිවෙළ කරන්ටද සුදුසු වෙයි, ඇවැත්නි, මහණතෙම එකට මහණදම් පුරන භික්ෂූන්ගේ කුඩා මහත් කටයුතු ‘කිමෙක්දැයි’ යි අසා කරන කටයුතු වෙත්ද එහි දක්ෂ වූයේ, අලස නොවූයේ, එහි උපාය දන්නේ පිළිවෙළ කිරීමට දන්නා නුවණින් යුක්ත වූයේ වෙයිද, මේද තමාට පිහිටවන ධර්මයකි.

“නැවතද අනිකක් කියමි. ඇවැත්නි, මහණතෙම ප්‍රියවූ කථා ඇත්තේ අභිධර්මයෙහි අභිවිනයෙහි (ඛුද්දක පරිවාරයෙහි හෝ කෙලෙස් සංසිඳුවන කරුණෙහි) මහත් සතුටු ගතිය ඇත්තේ ධර්මය කැමැත්තේ වේ. ඇවැත්නි, මහණ තෙම ධර්මය කැමැත්තේ වේද, ප්‍රියවූ වචන ඇත්තේ වේද, අභිධර්මයෙහි අභිවිනයෙහි මහත්වූ සතුටු ගතිය ඇත්තේය යන යමක් වේද මේද තමාට පිහිටවන ධර්මයකි.

“නැවතද අනිකක් කියමි. ඇවැත්නි, මහණ තෙම ලැබුන පරිදි, සිවුරුය, පිණ්ඩපාතය, සේනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන මෙයින් සතුටු වූයේ වෙයි, ඇවැත්නි, මහණතෙම ලද පරිදි සිවුරුය, පිණ්ඩපාතය, සේනාසනය, ගිලන්පසය බෙහෙත් පිරිකරය යන මෙයින් සතුටු වෙයි යන යමකුත් වේද මේද තමාට පිහිටවන ධර්මයකි.

“නැවතද අනිකක් කියමි. ඇවැත්නි, මහණතෙම අකුසල ධර්මයන් දුරුකිරීම පිණිස කුසල ධර්මයන් වැඩීම පිණිස ශක්ති ඇත්තේ දැඩි වීරිය ඇත්තේ කුසල ධර්මයන්හි බහා නොතබන ලද වීරිය ඇත්තේ පටන්ගන්නා ලද වීර්යය ඇත්තේ වාසය කරයි. ඇවැත්නි, මහණ තෙම අකුසල ධර්මයන්ගේ දුරු කිරීම පිණිස කුසල ධර්මයන්ගේ වැඩීම පිණිස ශක්ති ඇත්තේද දැඩි උත්සාහය ඇත්තේද කුසල ධර්මයන්හි බහා නොතබන ලද බර ඇත්තේ පටන්ගන්නාද වීර්යය ඇත්තේ වාසය කරයි යන යමකුත් වේද, මේද තමාට පිහිටවන ධර්මයකි.

“නැවතද අනිකක් කියමි. ඇවැත්නි, මහණ තෙම උතුම්වූ සිහියෙන් හා හොඳ නුවණින් යුක්තවූයේ බොහෝ කලකට පෙර කරණ ලද්දද, බොහෝ කලකට පෙර කියන ලද්දද, සිහි කිරීමට, සමර්ථ සිහි ඇත්තේවේ. ඇවැත්නි, මහණතෙම උතුම් සිහියෙන් හා දක්ෂ නුවණින් යුක්තවූයේ බොහෝ කල්හි කරන ලද්දද, බොහෝ කල්හි කියන ලද්දද, සිහිකරන්නේ නැවත නැවත සිහි කරන්නේ සිහි ඇත්තේ වේද යන යමකුත් වේද, මේද තමාට පිහිට වන ධර්මයකි.

“නැවතද අනිකක් කියමි. ඇවැත්නි, මහණතෙම ඇතිවීම නැතිවීම පිළිබඳ පවත්නාවූ ආර්‍ය්‍යවූ සසර කලකිරීම ඇතිකරන්නාවූ, හොඳකාර දුක් නැතිකිරීම පිණිස පවත්නාවූ නුවණින් යුක්තවූයේ නුවණැත්තේ වෙයි. ඇවැත්නි, මහණතෙම ඇතිවීම, නැතිවීම පිණිස පවත්නාවූ ආර්‍ය්‍යවූ නිබ්බේධිකවූ හෙවත් සසර කලකිරීම, මනාව දුක් නැති කිරීම පිණිස පවත්නාවූ නුවණින් යුක්ත වූයේ ප්‍රඥාවත් වෙයි යන යමකුත් වේද, මේද තමාට පිහිටවන ධර්මයකි. මේ ධර්ම දශය බොහෝ උපකාර වන්නාහුය.

“කවර නම් ධර්ම දශයක් වැඩිය යුත්තාහුද දශ කසිණායතනයෝයි. ඇතමෙක් උඩ, යට, සරස, එකමවූ (දෙකක් නැති) පෘථිවි කසිණය හඳුනයි ඇතැමෙක් උඩ යට සරස අද්වයවූ අප්‍රමාණවූ ආපොකසිණය හඳුනයි. ඇතමෙක් උඩ යට සරස අද්වයවූ අප්‍රමාණවූ තොජො කසිණය අඳුනයි. ඇතමෙක් උඩ යට සරස අද්වයවූ අප්‍රමාණවූ වායො කසිණය හඳුනයි. ඇතමෙක් උඩ යට සරස අද්වයවූ අප්‍රමාණවූ නීල කසිණය හඳුනයි. ඇතමෙක් උඩ යට සරස අද්වයවූ අප්‍රමාණවූ පීතකසිණය හඳුනයි. ඇතමෙක් උඩ යට සරස අද්වයවූ අප්‍රමාණවූ ලොහිත කසිණය හඳුනයි. ඇතමෙක් උඩ යට සරස අද්වයවූ අප්‍රමාණවූ අවදාත කසිණය හඳුනයි. ඇතමෙක් උඩ යට සරස අද්වයවූ එකමවූ අප්‍රමාණවූ විඤ්ඤාණ කසිණය හඳුනයි, මේ ධර්ම දශය වැඩිය යුත්තාහුය.

“කවර නම් ධර්ම දශයෙක් පිරිසිඳ දත යුත්තාහුද? ආයතන දශයයි. චක්ෂු ආයතනය, රූප ආයතනය, ශ්‍රොත ආයතනය ශබ්ද ආයතනය, ඝ්‍රාණ ආයතනය, ජිව්හා ආයතනය, රස ආයතනය, කාය ආයතනය, ස්පර්ශ ආයතනය යන මේ ධර්ම දශය පිරිසිඳ දත යුත්තාහුය.

“කවර නම් ධර්ම දශයක් දුරු කටයුත්තාහුද? වැරදි ගති දශයයි, වැරදි දැකීම, වැරදි කල්පනාව, වැරදි වචනය, වැරදි කර්මාන්තය, වැරදි ජිවිකාවෘත්තිය, වැරදි ව්‍යායාමය, වැරදි සිහිය, වැරදි සමාධිය, වැරදි නුවණ, වැරදි මීදීම යන මේ දශ ධර්මයෝ දුරු කටයුත්තාහුය.

“කවර නම් ධර්ම දශයක් හානභාගිය වන්නාහුද? දශ අකුශල ධර්ම පථයෝය. සතුන් මැරීමය, සොරකම් කිරීමය, කාමයන්හි වරදවා හැසිරීමය, බොරු කීමය, කේලාම් කීමය, ඵරුෂ වචන කීමය, හිස් වචන කීමය අභිධ්‍යාය (අනුන්ගේ දෙයට ලොභකිරීම) ව්‍යාපාදය, (අනුන් නැසේවා යන කල්පනාව) මිථ්‍යාදෘෂ්ටියය. මේ දශ ධර්මයෝ හානභාගිය නම් වන්නාහුය.

“කවර නම් ධර්ම දශයක් විශෙෂභාගික නම් වෙත්ද? දශ කුශල කර්ම පථයෝය. සතුන් මැරීමෙන් වැළකීමය, සොරකම් කිරීමෙන් වැළකීමය, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීමය, බොරු කීමෙන් වැළකීමය, කේලාම්කීමෙන් වැළකීමය, ඵරුෂ වචනයෙන් වැළකීමය, හිස් කථාවලින් වැළකීමය, අනුන්ගේ දෙයට ලොභ නොකිරීමය, අනුන් නැසේවායි නොසිතීමය, නිවැරදි දෘෂ්ටිය යන මේ දශ ධර්මයෝ විශෙෂ භාගික නම් වන්නාහුය.

“කවර නම් ධර්ම කෙනෙක් දුකසේ දැනගතයුතු වන්නාහුද? ආර්‍ය්‍ය පුද්ගලයන්ගේ වාසය කිරීම් දශය වෙත්. ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම අංග පසක් දුරු කළේ වෙයි. අංග සයකින් යුක්ත වූයේ වෙයි. එක් ආරක්ෂාවක් ඇත්තේවෙයි. අපස්සෙන (හේත්තුවීම්) සතරක් ඇත්තේ වෙයි. දුරුකළ වෙන වෙන සත්‍යයන් ඇත්තේ වෙයි. සම්පූර්ණයෙන් දුරු කරණලද සියලු සෙවීම් ඇත්තේ වෙයි. නොකැළඹුනු කල්පනා ඇත්තේ සැහැල්ලු කායසංස්කාර ඇත්තේ වෙයි.

“ඇවැත්නි, මහණතෙම කෙසේ නම් දුරු කළ අංග පසක් ඇත්තේ වේද? ඇවැත්නි, මේ ශාසනයෙහි මහණහුගේ කාම ආශාව පහකරන ලද්දේ වෙයි, ක්‍රොධය පහකරන ලද්දේ වෙයි. චිත්ත චෛතසිකයන්ගේ මැලිකම පහකරන ලද්දේ වෙයි. නොසන්සුන්කම හා පසුතැවීම පහකරන ලද්දේ වෙයි. සැකය පහකරන ලද්දේ වෙයි. ඇවැත්නි, මෙසේ මහණතෙම දුරුකරන ලද අංග පස ඇත්තේ වෙයි.

“ඇවැත්නි, කෙසේ නම් මහණතෙම අංග සියකින් යුක්ත වූයේ වේද, ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම ඇසින් රූපය දැක සතුටුද නොවෙයි, නොසතුටුද නොවෙයි, සිහි ඇත්තේ මනා දැනුම් ඇත්තේ සුව දුක් දෙකට මැදහත්ව වාසය කරයි, කණින් ශබ්දය අසා නාසයෙන් ගඳ දැන දිවෙන් රස විඳ කයින් ස්පර්ශකොට සිතින් ධර්ම අරමුණු දැන සතුටුද නොවෙයි, නොසතුටුද නොවෙයි. සිහි ඇත්තේ මනා දැනුම් ඇත්තේ, මැදහත් විඳීමෙන් යුක්තව වාසයකරයි. ඇවැත්නි, මෙසේ මහණතෙම අංග සයකින් යුක්තවූයේ වෙයි.

“ඇවැත්නි, මහණතෙමේ එක් ආරක්ෂාවක් ඇතිව වාසය කරයි. කෙසේද? ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම සිහිය නමැති ආරක්ෂාව ඇත්තාවූ සිතින් යුක්තවූයේ වෙයි. ඇවැත්නි, මෙසේ මහණතෙම එකම ආරක්ෂාවක් ඇත්තේ වෙයි.

“ඇවැත්නි, කෙසේ නම් මහණතෙම ‘හේත්තුවීම්’ සතරක් ඇත්තේ වේද, ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම නුවණින් සේවනය කළයුත්තක්ම සේවනය කරයි. නුවණින් දැන ඉවසිය යුත්තක්ම ඉවසයි. නුවණින් දැන පහකළ යුත්තක්ම පහකරයි හැරදමයි. ඇවැත්නි, මෙසේ මහණතෙම ‘හේත්තුවීම්’ සතරක් ඇත්තේ වේ.

“ඇවැත්නි, කෙසේ නම් මහණතෙම දුරුකරණ ලද නොයෙක් සත්‍ය ඇත්තේ වේද. ඇවැත්නි, මේ ශාසනයෙහි මහණහු විසින් බොහෝවූ මහණ බමුණන්ගේ වෙන වෙන නොයෙක් සත්‍යයෝ (ඇදහීම්) වෙත් නම් ඒ සියල්ල දුරුකරණ ලද්දාහුය, අතිශයින් දුරුකරණ ලද්දාහුය, හැරදමන ලද්දාහුය, වමාරන ලද්දාහුය, මුදාහරින ලද්දාහුය, නසන ලද්දාහුය, දුරලන ලද්දාහුය. ඇවැත්නි, මෙසේ මහණතෙම දුරුකරණ ලද වෙන වෙන නොයෙක් සත්‍ය ඇත්තේවෙයි.

“ඇවැත්නි, කෙසේ නම් මහණතෙම සම්පූර්ණයෙන් දුරු කරණ ලද සෙවීම් ඇත්තේ වේද, ඇවැත්නි, මේ ශාසනයෙහි මහණහුගේ කාමයන් සෙවීම නැසුණේ වේ. භවයන් සොයන්නාවූ තණ්හාව නසන ලද්දේ වෙයි. බ්‍රහ්මචරියෙසනය (සදාකාලිකය යනාදීන් ගන්නා මිථ්‍යාදෘෂ්ටිය) පහකරන ලද්දේ වෙයි. ඇවැත්නි, මෙසේ මහණතෙම සම්පූර්ණයෙන් දුරුකළ සෙවීම් ඇත්තේ වේ.

“ඇවැත්නි, කෙසේ නම් මහණතෙම නොකැළඹුනු කල්පනා ඇත්තේ වේද, ඇවැත්නි, මේ ශාසනයෙහි මහණහුගේ කාම කල්පනාව දුරුවූයේ වෙයි. ක්‍රොධ කල්පනාව දුරුවූයේ වෙයි. හිංසා කිරීමේ කල්පනාව දුරුවූයේ වෙයි. ඇවැත්නි, මෙසේ වනාහි මහණතෙම නොකැළඹුනු කල්පනා ඇත්තේ වේ.

“ඇවැත්නි, කෙසේ නම් මහණතෙම සංසිඳුනු කාය සංස්කාර ඇත්තේ වේද, ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම සැප දුරුකිරීමෙන්, දුක් දුරුකිරීමෙන් කල් ඇතිවම දොම්නස් සොම්නස් දෙක නැසීමෙන් නිදුක්වූ නොසැපවූ උපෙක්ෂා සිහි දෙදෙනාගේ පිරිසිදු බව ඇති, සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයි.

“ඇවැත්නි, මෙසේ වනාහි මහණතෙම සංසිඳුනු කාය සංස්කාර ඇත්තේ වේ.

“ඇවැත්නි, කෙසේ නම් මහණ තෙම හොඳින් මිදුනු සිත් ඇත්තේ වේද, ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂුහුගේ සිත රාගයෙන් මිදුනේ වෙයි. ද්වෙෂයෙන් මිදුනේ වෙයි. මුලාවෙන් මිදුනේ වෙයි. ඇවැත්නි, මෙසේ වනාහි මහණ තෙම හොඳින් මිදුනාවූ සිත් ඇත්තේ වේ.

“ඇවැත්නි, කෙසේ නම් මහණතෙම හොඳින මිදුනු ප්‍රඥා ඇත්තේ වේද, ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම ‘මා විසින් රාගය නැති කරන ලදී. මුල් සිඳින ලදී. මුදුන කපාදැමූ තල්ගසක් මෙන් කරනලදී. නැතිකරන ලදී. එය නැවත නූපදින ලෙස කරන ලදීයයි දනීද, ද්වෙෂය මා විසින් නැති කරනලදී. මුල්සිඳින ලදී. මුදුන කපාදමනලද තල්ගසක්මෙන් කරන ලදී. නැති කරන ලදී. එය නැවත නූපදින ලෙස කරන ලදීයයි දනීද, මොහය මා විසින් නැතිකරන ලදී. මුල් සිඳිනලදී. මුදුන කපනලද තල් ගසක් මෙන් කරන ලදී, නැති කරන ලදී, එය නැවත නූපදින ලෙස කපන ලදීය යි දනීද, ඇවැත්නි, මෙසේ මහණ තෙම හොඳින් මිදුනු ප්‍රඥා ඇත්තේ වෙයි. මේ ධර්ම දශය දුකසේ අවබොධ කටයුතු වන්නාහුය.

“කවර නම් ධර්ම දශයක් ඉපදවිය යුත්තාහුද? දශ සංඥාවෝය. අසුභ සංඥාවය, මරණ සංඥාවය, ආහාරයෙහි පිළිකුල් සංඥාවය, සියලු ලෝකයෙහි නොඇලීම් සංඥාවය, අනිත්‍ය සංඥාවය, අනිත්‍යයෙහි දුඃඛ සංඥාවය, දුකෙහි අනාත්ම සංඥාවය, ප්‍රහාන සංඥාවය, විරාග සංඥාවය, නිරොධ සංඥාවය, මේ දශ ධර්මයෝ ඉපදවිය යුත්තාහුය.

“කවරනම් ධර්ම දශයක් විශෙෂ නුවණින් දතයුත්තාහුද, නිර්ජර වස්තුහු (දිරා යන කරුණු) ය. හරි දැකීම ඇත්තාගේ වැරදි දැකීම දිරා ගියේ වෙයි. වැරදි දැකීම හේතුකොට ගෙන යම් යම් නොයෙක් ලාමක අකශුල ධර්ම හටගන්නාහුය. ඔහුගේ ඒ ලාමක ධර්මද දිරුවාහු වෙත්. හරි දැකීම හේතු කොටගෙණ වනාහි නොයෙක් කුශල ධර්ම වැඩීමෙන් සම්පූර්ණ බවට යන්නාහුය, හරි කල්පනාව ඇත්තහුගේ වැරදි කල්පනාව දිරා ගියේ වෙයි. වැරදි කල්පනාව හේතුකොටගෙණ යම් යම් නොයෙක් ලාමක අකුශල ධර්ම හටගන්නාහුද ඔහුගේ ඒ අකුශල ධර්මයෝ දිරුවාහු වෙත්. හරි කල්පනාව හේතුකොට ගෙණ නොයෙක් කුශල ධර්ම වැඩීමෙන් සම්පූර්ණ බවට යන්නාහු වෙත්. හරි වචන ඇත්තාහුගේ වැරදි වචන දිරා ගියේ වෙයි. වැරදි වචන හේතුකොට ගෙණ යම් යම් නොයෙක් ලාමක අකුශල ධර්ම හටගන්නාහුද ඔහුගේ ඒ අකුසල ධර්මද දිරා ගියේ වෙයි. හරි වචනය හේතුකොටගෙන නොයෙක් කුශල ධර්ම වැඩීමෙන් සම්පූර්ණ බවට යන්නාහුය. හරි කර්මාන්ත ඇත්තහුගේ වැරදි කර්මාන්තය දිරා ගියේ වෙයි. වැරදි කර්මාන්තය හේතුකොට ගෙණ යම් යම් නොයෙක් ලාමක අකුශල ධර්මයෝ හටගන්නාහු ඔහුගේ ඒ අකුශල ධර්ම දිරා ගියේ වෙයි. හරි කර්මාන්තය හේතුකොටගෙණ නොයෙක් කුශල ධර්මද වැඩීමෙන් සම්පූර්ණ බවට යන්නාහුය, හරි ජීවිකාවෘත්තිය ඇත්තහුගේ වැරදි ජීවිකා වෘත්තිය දිරාගියේ වෙයි. වැරදි ජීවිකා වෘත්තිය හේතුකොටගෙණ යම්යම් නොයෙක් ලාමක අකුශල ධර්ම හටගන්නාහුද ඔහුගේ ඒ අකුශල ධර්ම දිරා ගියේ වෙයි. හරි ජීවිකාවෘත්තිය හේතුකොටගෙන නොයෙක් කුශල ධර්ම වැඩීමෙන් සම්පූර්ණ බවට යන්නාහුය, හරි ව්‍යායාම ඇත්තහු ගේ වැරදි ව්‍යායාමය දිරා ගියේ වෙයි වැරදි ව්‍යායාමය හේතු කොට ගෙණ යම් යම් නොයෙක් ලාමක අකුශල ධර්මයෝ හට ගන්නාහ. ඔහුගේ ඒ අකුශල ධර්මද දිරා ගියේ වෙයි. හරි ව්‍යායාමය හේතුකොටගෙණ බොහෝ කුශල ධර්ම වැඩීමෙන් සම්පූර්ණ බවට යන්නාහුය. හරි සිහිය ඇත්තහුගේ වැරදි සිහිය දිරා ගියේ වෙයි. වැරදි සිහිය හේතුකොටගෙණ යම්යම් නොයෙක් ලාමක අකුශල ධර්ම හටගනිත්. ඔහුගේ ඒ අකුශල ධර්මද දිරා ගියේ වෙයි හරි සිහිය හේතුකොටගෙන බොහෝ කුශල ධර්ම වැඩීමෙන් සම්පූර්ණ බවට යන්නාහුය. හරි හිතේ එකඟකම ඇත්තහුගේ වැරදි හිතේ එකඟකම දිරා ගියේ වෙයි. හරි හිතේ එකඟකම හේතුකොටගෙණ යම් යම් නොයෙක් ලාමක අකුශල ධර්ම හටගනිත්. ඔහුගේ ඒ අකුශල ධර්මද දිරා ගියේ වෙයි. හරි හිතේ එකඟකම හේතු කොටගෙන බොහෝවූ කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්ණ බවට යන්නාහුය. හරි ඥානය ඇත්තහුගේ වැරදි ඥානය දිරා ගියේ වෙයි. වැරදි ඥානය හෙතුකොටගෙන යම් යම් නොයෙක් ලාමක අකුසල ධර්ම හටගනිත්. ඔහුගේ ඒ ලාමක අකුසල ධර්මද දිරාගියේ වෙයි. හරි ඥානය හෙතුකොට ගෙන බොහෝ කුසල ධර්ම වැඩීමෙන් සම්පූර්ණ වන්නාහුය. හරි මිදීම ඇත්තහුගේ වැරදි මිදීම දිරා ගියේ වෙයි වැරදි මිදීම හේතුකොටගෙන යම් යම් නොයෙක් ලාමක අකුශල ධර්ම හටගනිත්. ඔහුගේ ඒ අකුශල ධර්මද දිරා ගියාහු වෙත්. හරි මිදීම හේතුකොටගෙන බොහෝ කුශල ධර්ම වැඩීමෙන් සම්පූර්ණ බවට යන්නාහුය මේ ධර්ම දශය ඉතා හොඳ නුවණින් දතයුත්තාහුය.

“කවර නම් ධර්ම දශයක් ප්‍රත්‍යක්ෂ (තමාම දැකීම) කටයුතු වන්නාහුද? දශ අශෛක්ෂ ධර්ම (රහත්ඵලයට පැමිණ පුද්ගලයාගේ ධර්ම) යෝය. අශෛක්ෂවූ සම්‍යක්දෘෂටිය, අශෛක්ෂවූ සම්‍යක් සංකල්පය, අශෛක්ෂවූ සම්‍යක් වචනය, අශෛක්ෂවූ සම්‍යක් කර්මාන්තය, අශෛක්ෂවූ සම්‍යක් ආජීවය, අශෛක්ෂවූ සම්‍යක් ව්‍යායාමය, අශෛක්ෂවූ සම්‍යක් ස්මෘතිය, අශෛක්ෂවූ සම්‍යක් සමාධිය, අශෛක්ෂවූ සම්‍යක් ඤාණය, අශෛක්ෂවූ සම්‍යක් විමුක්තිය යන මේ දසයයි.

“ඇවැත්නි, දන්නාවූ, දක්නාවූ, අර්හත්වූ සම්‍යක්සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ධර්මයෝ දසදෙන හොඳින් ප්‍රකාශ කරන ලද්දාහු වෙත්.

“මේ ධර්ම දශය ප්‍රත්‍යක්ෂ කටයුත්තාහුය. මෙසේ ඇත්තාවූ සත්‍යවූ එසේමවූ වෙනස් නොවන්නාවූ අන් පරිද්දකින් නොවන්නාවූ මේ සියයක් ධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් මනාකොට අවබොධ කරන ලද්දාහුයයි වදාළේය. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මේ සූත්‍රය වදාළහ. සතුටු සිත් ඇති භික්ෂූන්වහන්සේලා ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ දේශනාවට විශෙෂයෙන් සතුටු වූවාහුය.

තිස් හතර වැනිවූ දසුත්තර සූත්‍රය නිමි.