අඞ්ගුත්තරනිකායො

නවක නිපාතය

1. පළමු වෙනි පණ්ණාසකය

4. මහා වර්‍ගය

4. පබ්බතෙය්‍යගාමී සූත්‍රය

’’මහණෙනි, යම් සේ පර්‍වතයෙහි හැසිරෙන්නාවූ, බාලවූ, අව්‍යක්තවූ, ක්‍ෂෙත්‍රය නොදන්නාවූ, විෂමවූ, පර්‍වතයෙහි හැසිරීමට අදක්‍ෂවූ, දෙනක් වේද, ඈට මෙසේ සිතක් වන්නේය. (එනම්) ’මම පෙර නොගිය දිශාවකට යන්නේ නම්, පෙර නොකණ ලද තණ කොළ කන්නේ නම්, පෙර නොබොන ලද පැන් බොන්නේ නම් ඉතා යෙහෙක’ කියායි. ඈ පෙර පය සුපිහිටි සේ නොපිහිටුවා, පසුපය උදුරන්නේද, ඈ පෙර නොගිය දිශාවකට නොයන්නේය. පෙර නොකණ ලද තණ කොළ නොකන්නේය. පෙර නොබොන ලද පැන් නොබොන්නේය. ’මම පෙර නොගිය දිශාවකට යන්නේ නම්, පෙර නොකණ ලද තණ කොළ කන්නේ නම්, පෙර නොබොන ලද පැන් බොන්නේ නම් ඉතා යෙහෙක’ කියායි. ඒ පෙදෙසට සැප සේ පෙරලා නොඑන්නේය. ඊට හේතු කවරේද? ඒ එසේමැයි.

’’ඈ යම් පියවරෙක්හි සිටි කල්හි මෙසේ සිතක් වන්නේද, ’මම පෙර නොගිය දිශාවකට යන්නේ නම්, පෙර නොකණ ලද තණ කොළ කන්නේ නම්, පෙර නොබොන ලද පැන් බොන්නේ නම් ඉතා යෙහෙක’ කියායි. ඒ පෙදෙසෙට සැපසේ පෙරලා නොඑන්නේය. ඊට හේතු කවරේද? ඒ එසේමැයි. මහණෙනි, පර්‍වතයෙහි හැසිරෙන්නාවූ, බාලවූ, අව්‍යක්තවූ, ක්‍ෂෙත්‍රය නොදන්නාවූ, විෂමවූ, පර්‍වතයෙහි හැසිරීමට අදක්‍ෂවූ, ඒ දෙනක් වීද, මහණෙනි, එසේම මේ ශාසනයෙහි ඇතැම් භික්‍ෂුවක් තෙමේ බාලවූයේ, අව්‍යක්ත වූයේ, ක්‍ෂෙත්‍රය නොදන්නේ, කාමයන්ගෙන් වෙන්වම ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරන්ට අදක්‍ෂ වූයේ වේද, හෙතෙම ඒ නිමිත්ත පුරුදු නොකෙරේද, නොවඩාද, බහුල වශයෙන් නොකෙරේද, යහපත් අධිෂ්ඨානයෙන් අධිෂ්ඨාන නොකෙරේද, ඕහට මෙවැනි සිතක් වෙයි.

’’මම විතර්‍ක විචාරයන්ගේ සංසිඳවීමෙන්, විතර්‍ක නැති, විචාර නැති, සමාධියෙන් උපන් ප්‍රීති සැපය ඇති, වීතීය ධ්‍යානයට පැමිණ වාසය කරන්නෙම් නම් ඉතා යෙහෙක කියායි. හෙතෙම විතර්‍ක විචාරයන්ගේ සංසිඳවීමෙන් වීතිය ධ්‍යානයට පැමිණ වාසයකරන්ට නොහැකි වෙයි. ඕහට මෙවැනි සිතක් වෙයි. ’මම කාමයන්ගෙන් වෙන්ව, අකුසල ධර්‍මයන්ගෙන් වෙන්ව, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරන්නෙම් නම් ඉතා යෙහෙක’ යනුයි. කාමයන්ගෙන් වෙන්ව, අකුසල ධර්‍මයන්ගෙන් වෙන්ව, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරන්ට හෙතෙම නොහැකි වෙයි. මහණෙනි, මේ භික්‍ෂුව පර්වතයෙහි හැසිරෙණ, බාලවූ, අව්‍යක්තවූ, ක්‍ෂෙත්‍රය නොදන්නාවූ, විෂම පර්‍වතයෙහි හැසිරෙන්ට අදක්‍ෂවූ, ඒ දෙන මෙන් දෙපසින් ගිළිහුනේ, දෙපසින් පිරිහුනේ යයි කියනු ලැබේ.

’’මහණෙනි, යම් සේ පර්‍වතයෙහි හැසිරෙන්නාවූ, පණ්ඩිතවූ, ව්‍යක්තවූ, ක්‍ෂෙත්‍රය දන්නාවූ, විෂම පර්‍වතයෙහි හැසිරීමට සමර්ත්‍ථවූ, දෙනක් වේද, ඈට මෙබඳු සිතක් වන්නේද, ’මම පෙර නොගිය දිශාවකට යන්නේ නම්, පෙර නොකණ ලද තණ කොළ කන්නේ නම්, පෙර නොබොන ලද පැන් බොන්නේ නම් ඉතා යෙහෙක’ කියායි. ඈ පෙර පය සුපිහිටි සේ නොපිහිටුවා, පසුපය උදුරන්නේද, ඈ පෙර නොගිය දිශාවකට නොයන්නේය. පෙර නොකණ ලද තණ කොළ නොකන්නේය. පෙර නොබොන ලද පැන් නොබොන්නේය. ’මම පෙර නොගිය දිශාවකට යන්නේ නම්, පෙර නොකණ ලද තණ කොළ කන්නේ නම්, පෙර නොබොන ලද පැන් බොන්නේ නම් ඉතා යෙහෙක’ කියායි. ඒ පෙදෙසට සැප සේ පෙරලා නොඑන්නේය. ඊට හේතු කවරේද? ඒ එසේමැයි.

’’ඈ යම් පියවරෙක්හි සිටි කල්හි මෙවැනි සිතක් වන්නේය. ’මම පෙර නොගිය දිශාවකට යන්නේ නම්, පෙර නොකණ ලද තණ කොළ කන්නේ නම්, පෙර නොබොන ලද පැන් බොන්නේ නම් ඉතා යෙහෙක’ කියායි. ඒ පෙදෙසට සුවසේ පෙරලා එන්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, එසේම පර්‍වතයෙහි හැසිරෙන්නාවූ, පණ්ඩිතවූ, ව්‍යක්තවූ, ක්‍ෂෙත්‍රය දන්නාවූ, ඒ දෙන තොමෝ පර්වතයෙහි හැසිරෙන්ට දක්‍ෂ වෙයි.

’’මහණෙනි, එසේම මේ ශාසනයෙහි ඇතැම් භික්‍ෂුවක් පණ්ඩිතවූයේ, ව්‍යක්තවූයේ, ක්‍ෂෙත්‍රය දන්නේ, කාමයන්ගෙන් වෙන්වම, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව, ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරන්ට දක්‍ෂ වූයේ වේද, හෙතෙම ඒ නිමිත්ත ආසේවනය කෙරේද, වඩාද, බහුල වශයෙන් කෙරේද, මනා ඉටා ගැන්මෙන් ඉටා ගනීද, ඕහට මෙසේ සිතක් වෙයි. එනම්, මම විතර්‍ක විචාරයන්ගේ සංසිඳවීමෙන් වීතීය ධ්‍යානයට පැමිණ වාසය කරන්නෙම් නම් ඉතා යෙහෙක’ කියායි.

’’හෙතෙම වීතීය ධ්‍යානයට හිංසා නොකරන්නේ, විතර්‍ක විචාරයන්ගේ සංසිඳවීමෙන් වීතීයධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම ඒ නිමිත්ත ආසේවනය කෙරේද, වඩාද, බහුල වශයෙන් කෙරේද, මනා ඉටා ගැන්මෙන් ඉටා ගනීද, ඕහට මෙබඳු සිතක් වෙයි. මම ප්‍රීතියෙහි නොඇලීමෙන්, තෘතීයධ්‍යානයට පැමිණ වාසය කතරන්නෙම් නම් ඉතා යෙහෙක’ කියායි.

’’හෙතෙම තෘතීයධ්‍යානයට හිංසා නොකරන්නේ ප්‍රීතියෙහි නොඇලීමෙන්, තෘතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. හෙතෙම ඒ නිමිත්ත ආසේවනය කෙරේද, වඩාද, බහුල වශයෙන් කෙරේද, මනා ඉටා ගැන්මෙන් ඉටා ගනීද, ඕහට මෙබඳු සිතක් වෙයි. ’මම සැපයාගේ ප්‍රහාණයෙන්, දුක්ඛයාගේ ප්‍රහාණයෙන්, පූර්වයෙහිම සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැතිවීමෙන්, දුක් නැති, සැප නැති, මධ්‍යස්ථකය හා යහපත් සිහියෙන්ද පිරිසිදුවූ චතුර්ථධ්‍යානයට පැමිණ වාසය කරන්නෙම් නම් ඉතා යෙහෙක’ කියායි.

’’හෙතෙම චතුර්ත්‍ථධ්‍යානයට හිංසා නොකරන්නේ, සැපයාගේ ප්‍රහාණයෙන් දුක්ඛයාගේ ප්‍රහාණයෙන්, පූර්වයෙහිම සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැතිවීමෙන්, දුක් නැති, සැප නැති, මධ්‍යස්ථකය හා යහපත් සිහියෙන්ද පිරිසිදුවූ චතුර්ථධ්‍යානයට පැමිණ වෙසෙයි. හෙතෙම ඒ නිමිත්ත ආසේවනය කෙරේද, වඩාද, බහුල වශයෙන් කෙරේද, මනා ඉටා ගැන්මෙන් ඉටා ගනීද, ඕහට මෙබඳු සිතක් වේ. ’මම සර්‍වප්‍රකාරයෙන් රූප සංඥාවන්ගේ ඉක්මවීමෙන්, ප්‍රතිඝ සංඥාවන්ගේ (දුරුකිරීමෙන්) නානත්තසංඥාවන්ගේ (මෙනෙහි නොකිරීමෙන්) ’’ආකාසය අනන්තය’’ යි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරන්නෙම් නම් ඉතා යෙහෙකැ’ යි කියායි.

’’හෙතෙම ආකාසානඤ්චායතනයට හිංසා නොකරන්නේ සර්‍වප්‍රකාරයෙන් රූප සංඥාවන්ගේ ඉක්මවීමෙන්, ප්‍රතිඝ සංඥාවන්ගේ (දුරුකිරීමෙන්) නානත්තසංඥාවන්ගේ (මෙනෙහි නොකිරීමෙන්) ’’ආකාසය අනන්තය’’ යි ආකාසානඤ්චායතනයට පැමිණ වෙසෙයි. හෙතෙම ඒ නිමිත්ත ආසේවනය කෙරේද, වඩාද, බහුල වශයෙන් කෙරේද, මනා ඉටා ගැන්මෙන් ඉටා ගනීද, ඕහට මෙබඳු සිතක් වේ. ’’මම සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි, විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වෙසෙම් නම් යෙහෙකැයි කියායි. හෙතෙම විඤ්ඤාණඤ්චායතනය බලාපොරොත්තු නැත්තේ, සර්‍වප්‍රකාරයෙන් ආකාශානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරයි. හෙතෙම ඒ නිමිත්ත ආසේවනය කෙරේද, වඩාද, බහුල වශයෙන් කෙරේද, මනා ඉටා ගැන්මෙන් ඉටා ගනීද, ඕහට මෙබඳු සිතක් වෙයි. මම සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැත්තේයයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරන්නෙම් නම් ඉතා යෙහෙක’ කියායි.

’’හෙතෙම ආකිඤ්චඤ්ඤායතනයට හිංසා නොකරන්නේ, සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. හෙතෙම ඒ නිමිත්ත ආසේවනය කෙරේද, වඩාද, බහුල වශයෙන් කෙරේද, මනා ඉටා ගැන්මෙන් ඉටා ගනීද, ඔහුට මෙසේ සිතෙයි. ’මම සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරන්නෙම් නම් යෙහෙකැ’ යි කියායි.

’’හෙතෙම නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට හිංසා නොකරන්නේ, සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසෙයි. හෙතෙම ඒ නිමිත්ත ආසේවනය කෙරේද, වඩාද, බහුල වශයෙන් කෙරේද, මනා ඉටා ගැන්මෙන් ඉටා ගනීද, ඕහට මෙබඳු සිතක් වෙයි. ’මම සර්‍වප්‍රකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවෙදයිතනිරෝධයට පැමිණ වාසය කරන්නෙම් නම් ඉතා යෙහෙක’ කියායි.

’’හෙතෙම සඤ්ඤාවෙදයිතනිරෝධයට හිංසා නොරන්නේ, සර්‍වප්‍රකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා, නිරෝධසමාපත්තියට පැමිණ වාසය කෙරෙයි. ’’මහණෙනි, යම් හෙයකින් වනාහි මහණතෙම ඒ ඒ සමවතට පැමිණේද, (එයින්) නැගී සිටීද, ඔහුගේ සිත මෘදු වෙයි. කර්‍මණ්‍ය වෙයි. මෘදුවූ, කර්‍මණ්‍යවූ, සිතින් අප්‍රමාණ සමාධිය මනාකොට වඩන ලද්දේ වේ. හෙතෙම අප්‍රමාණවූ, සුභාවිතවූ, සමාධියෙන්, අභිඥාවෙන් ප්‍රත්‍යක්‍ෂ කටයුතුවූ යම් ධර්මයකට සිත මොනවට නම්වයි.

’’ආයතනයක් ඇති කල්හි අභිඥා ප්‍රත්‍යක්‍ෂකිරීම කරණකොටගෙන, ඒ ඒ තන්හි සාක්‍ෂි වශයෙන් සුදුසු බවට පැමිණෙයි. ඒ මම ඉදින් කැමතිවන්නෙම් නම් නන්වැදෑරුම්වූ ඎද්‍ධිවිධිය අනුභව කරන්නෙම්ද, ( අඞ්ගුත්තර නිකායේ තික නිපාතයේ දුතිය පණ්ණාසකයේ බ්‍රාහ්මණ වර්‍ගයේ 19 ර්‍සයේ 12 ඡේදයේ පවත්වන්නෙමි’ යන තැන දක්වාද 13 ඡේදයද යෙදිය යුතුයි.) ආයතන ඇති විධියට ඒ ඒ තන්හි සාක්‍ෂි වශයෙන් සුදුසු බවට පැමිණෙයි.

’ඒ මම ඉදින් කැමති වන්නෙම් නම් ආශ්‍රවයන්ගේ ක්‍ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ චිත්තවිමුත්තියද, පඤ්ඤාවිමුත්තියද, මේ ආත්මයෙහිම තෙමේ විශිෂඨ ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කරන්නෙම්ය’ යි ඒ ඒ තන්හිම, ඒ ඒ ආයතනයෙහි සාක්‍ෂි වශයෙන් සුදුසු බවට පැමිණෙමි.’’