අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

1. පළමුවෙනි පණ්ණාසකය

5. රොහිතස්ස වර්‍ගය

1. සමාධිභාවනා සූත්‍රය

’’ මේ සමාධි භවනා සතර දෙනෙකි. කවර සතර දෙනෙක්ද යත්, මහණෙනි, වඩන ලද, බහුල කරණ ලද, සමාධි භාවනාවක් මේ ආත්මයෙහි සැප විහරණ පිණිස වන්නීද, එබඳු සමාධි භාවනාවක් ඇත්තේය. මහණෙනි, වඩන ලද, බහුල කරණ ලද සමාධි භාවනාවක්, දිව්‍යචක්‍ෂුරභිඥානය පිණිස වන්නේද, එබඳු සමාධි භාවනාවක් ඇත්තේය. වඩන ලද්දාවූ, බහුල කරණ ලද්දාවූ සමාධි භාවනාවක්, සිහිය හා නුවණින් දැනීම පිණිස පවතීද, මහණෙනි, එබඳු සමාධි භාවනාවක් ඇත. වඩන ලද, බහුල කරණ ලද, සමාධි භාවනාවක්, ආශ්චර්‍ය්‍ය ක්‍ෂය කිරීම පිණිස පවතියිද, එබඳු සමාධි භාවනාවක් ඇත.

’’මහණෙනි, වඩනලද, බහුල කරණ ලද, කවර සමාධි භාවනාවක් මේ ආත්මයෙහි සැප විහරණය පිණිස පවතීද?

’’මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම, කාමයන්ගෙන් වෙන්ව, අකුශලයන්ගෙන් වෙන්වම, විතර්ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති, සතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, වඩන ලද, බහුල කරණ ලද මේ සමාධි භාවනාව මේ ආත්මයෙහි සැප විහරණය පිණිස පවතීයයි කියනු ලැබේ.

’’මහණෙනි, වඩන ලද, බහුල කරණ ලද කවර සමාධි භාවනාවක් දිව්‍ය චක්‍ෂුස ලැබීම පිණිස පවතීද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ආලොක සංඥාව මෙනෙහි කරයිද, දහවල්ය යන සංඥාව මෙනෙහි කරයිද, දහවල් යම් සේද, එසේම රාත්‍රියද, රාත්‍රිය යම් සේද, එසේද දවාලද, මෙසේ විවෘතවූ, නොවැසුණාවූ සිතින් ආලොක සහිත සිත වඩයිද, මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරණ ලද්දාවූ, මේ සමාධි භාවනාව දිව්‍ය චක්‍ෂුව ලැබීම පිණිස පවතී.

’’මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරණ ලද්දාවූ කවර සමාධි භාවනාවක් සිහිය හා නුවණින් දැනීම පිණිස පවතීද, මහණෙනි, මේ ශාසනයෙහි මහණහට ප්‍රකටව වේදනාවෝ උපදිත්ද, ප්‍රකටව වේදනා හටගනිත්ද, ප්‍රකටව වේදනා අභාවයට යත්ද, ප්‍රකටව හටගනිත්ද, ප්‍රකටව අභාවයට යෙත්ද, ප්‍රකටවූ සංඥා, ප්‍රකටවූ විතර්‍ක උපදිත්ද, මහණෙනි, වඩන ලද, බහුල වශයෙන් කරණ ලද, මේ සමාධි භාවනා තොමෝ සිහිය හා නුවණින් දැනීම පිණිස පවතී.

’’මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරණ ලද්දාවූ, කවර සමාධි භාවනාව ආශ්‍රවයන් ක්‍ෂයවීම පිණිස පවතීද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම උපාදාන ස්කන්‍ධ පසෙහි ඉපදීමද, විනාශයද, දකිමින් වාසය කරයිද, මේ රූපයයි, මේ රූපයාගේ ඉපදීමයි, මේ රූපයාගේ නැතිවීමයි, මේ වේදනාවයි, මේ වේදනාවගේ ඉපදීමයි, මේ වේදනාවගේ නැතිවීමයි, මේ සංඥාවයි, මේ සංඥාවගේ ඉපදීමයි, මේ සංඥාවගේ නැතිවීමයි, මේ සංස්කාරයෝයි. මේ සංස්කාරයන්ගේ ඉපදීමයි, මේ සංස්කාරයන්ගේ නැතිවීමයි, මේ විඤ්ඤාණයයි, මේ විඤ්ඤාණයාගේ ඉපදීමයි, මේ විඤ්ඤාණයාගේ නැතිවීමයි,

’’මහණෙනි, මේ වඩන ලද්දාවූ, බහුල කරණ ලද්දාවූ, මේ සමාධි භාවනාව ආශ්‍රවයන් ක්‍ෂයවීම පිණිස පවතී. මහණෙනි, මේ සතර සමාධි භාවනාවෝයි. මහණෙනි, පරායන සූත්‍රයෙහි, පුණ්ණක ප්‍රශ්නයෙහි මෙය වනාහි මේ සඳහා වදාරණ ලදී.

’’ලොකයෙහි කිසි තැනක යමෙකුට ස්කන්‍ධ, ධාතු, ආයතන, ආරම්මණ යන මොවුන් කෙරෙහි සැළීමක් නැද්ද, සත්ත්‍ව ලෝකයෙහි උසස් පහත් භෙදය දැන ශාන්තවූයේද, පහවූ ක්‍රොධ නමැති දුම් ඇත්තේද, දුක් නැත්තේද, ආශා නැත්තේද, හෙතෙම ජාති, ජරා, මරණය පහ කෙළේයයි කියමි.’’