අංගුත්තර නිකාය

එක නිපාතය

7. මහා වර්ගය

69. කුසලාකුසල මූල සූත්‍රය

“මහණෙනි, මේ අකුසල මූලයෝ තිදෙනෙකි. කවර තිදෙනෙක්ද ලොභය අකුසල් මුලකි. දොෂය අකුසල් මුලකි, මොහය අකුසල් මුලකි.

“මහණෙනි, යම් ලොභයක් වේද, එයද අකුශලයකි. ලොභයෙන් ඇලුණාවූ පුද්ගල තෙමේ කයින් වචනයෙන් සිතින් යමක් රැස්කරයිද එයද අකුසල් වෙයි. ඇලුණාවූ ලොභයෙන් මඩනා ලද්දාවූ විනාශ කරන ලද සිත් ඇත්තාවූ පුද්ගල තෙමේ ‘මම බලවතෙක්මි. බලය ප්‍රයෝජන කොට ඇත්තෙක් වෙමියි’ වධ කිරීමෙන් හෝ බන්ධනයෙන් හෝ ධනය විනාශ කිරීමෙන් හෝ ගර්හා කිරීමෙන් හෝ රටින් නෙරපීමෙන් හෝ අසත්‍යයෙන් අන්‍යයාට දුක් උපදවාද, එයද අකුසල් වන්නේය. මෙසේ ඔහුට ලොභයෙන් හටගන්නාවූ ලොභය නිදාන කොට ඇත්තාවූ ලොභය නිසා පහළ වන්නාවූ ලොභය ප්‍රත්‍යකොට ඇත්තාවූ නොයෙක් ලාමක අකුසල ධර්මයෝ හටගනිත්.

(මෙහි මේ සූත්‍රයේ 2 ඡෙදයේ ‘ලොභය’ වෙනුවට ‘ද්වෙෂය’ යොදා සකස් කර ගත යුතුයි.)

(මෙහි මේ සූත්‍රයේ 2 ඡෙදයේ ‘ලොභය’ වෙනුවට මොහය යොදා ඡෙදය සකස් කර ගත යුතුයි.)

“මහණෙනි, මෙබඳු පුද්ගල තෙමේ අකාලවාදීයයිද අභූතවාදීයයිද, අනර්ථවාදීයයිද අධර්මවාදීයයිද අවිනයවාදියයිද කියනු ලැබේ. මහණෙනි, කුමක් හෙයින් මේ පුද්ගල තෙමේ අකාලවාදීයයිද අභූතවාදීයයිද අනර්ථවාදීයයිද අධර්මවාදීයයිද අවිනයවාදීයයිද කියනුලැබේද මහණෙනි, යම්සේ මේ පුද්ගල තෙමේ ‘මම බලවත් වෙමි. බලයෙන් ප්‍රයෝජන ඇත්තේ වෙමියි’ වධකිරීමෙන් හෝ හිර කිරීමෙන් හෝ ධනය විනාශ කිරීමෙන් හෝ නෙරපීමෙන් හෝ අසත්‍යයෙන් අන්‍යයාට දුක් උපදවයිද සත්‍යවූ පරිදි කියනු ලැබූ කල්හි හෙතෙමේ අවමන් කරයි, නොපිළිගනියි. අසත්‍යයෙන් කියනු ලබන කල්හි එය මෙසේත් අසත්‍යයයි මෙසේත් අභූතයයි එය පැටලුම් හැරීම පිණිස උත්සාහ නොකරයි, එහෙයින් මෙබඳු පුද්ගල තෙමේ අකාලවාදීයයිද, අභූතවාදීයයිද, අනර්ථවාදීයයිද, අධර්මවාදීයයිද, අවිනයවාදීයයිද කියනු ලැබේ. මහණෙනි, මෙබඳු පුද්ගල තෙමේ ලොභයෙන් හටගන්නාවූ අකුසල ධර්මයන්ගෙන් මඩනා ලද්දේ විනාශ කරන ලද සිත් ඇත්තේ මේ ආත්මයෙහිම දුක් සහිතවූ ශොකයෙන් හටගන්නාවූ වෙහෙස සහිතවූ දාහ සහිතවූ දුක් විඳිමින් වාසය කරයි. කය බිඳීමෙන් මරණින් පසු දුර්ගතිය කැමති විය යුත්තීය.

ද්වෙෂයෙන් උපන්-මොහයෙන් උපන් ලාමක අකුසල ධර්මයන්ගෙන් මඩනා ලද්දේ යටකොට ගත් සිත් ඇත්තේ මෙලොවම වෙහෙස සහිතව දැඩි ආයාස සහිතව දැවිලි සහිතව දුකසේ වාසය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු දුගතිය කැමතිවිය යුතුයි.

“මහණෙනි, යම්සේ මාලුවා වැල් තුනක් විසින් උඩට නගින ලද්දාවූ හාත්පස වෙලාගන්නා ලද්දාවූ, සල් රුකක් හෝ දඹ රුකක් හෝ කොළොම් රුකක් හෝ නොවැඩීමට පැමිණෙයිද, විනාශයට පැමිණෙයිද, නොවැඩීමට හා විනාශයට පැමිණෙයිද.

“මහණෙනි, එපරිද්දෙන්ම මෙබඳු පුද්ගල තෙමේ ලොභයෙන් හටගත් ලාමක අකුශල ධර්මයන්ගෙන් මඩනා ලද්දේ විනාශ කරන ලද සිත් ඇත්තේ මේ ආත්මයෙහි පීඩා සහිතවූ වෙහෙස සහිතවූ දාහ සහිතවූ දුක් විඳිමින් වාසය කරයි, කය බිඳීමෙන් මරණින් පසු දුර්ගතිය කැමතිවිය යුත්තීය

(මේ සූත්‍රයේ 7 ඡෙදයේ ‘ලොභයෙන්’ වෙනුවට ‘ද්වෙෂයෙන්’ යන වචනය යොදාගත් කල මේ ඡෙදය වෙයි.

(මේ සූත්‍රයේ 7 ඡෙදයේ ‘ලොභයෙන්’ වෙනුවට ‘මෝහයෙන්’ යන වචනය යොදාගත් කල මේ ඡෙදය වෙත්. මහණෙනි, මේ තුන අකුශල මූලයෝ නම් වෙත්.

“මහණෙනි, මේ කුශල මූලයෝ තුනක් වෙත්. කවර තුනක්ද? මහණෙනි, අලොභය අකුසල මූලයකි. අදොසය අකුසල මූලයකි, අමොහය අකුසල මූලයකි.

“මහණෙනි, යම් අලොභය වෙයිද එයද කුසලයකි. අලොභී පුද්ගල තෙමේ කයින් වචනයෙන් සිතින් යමක් රැස් කරයිද එයද කුසලයකි. ලොභි නොවූ ලොභයෙන් නොමඩනා ලද විනාශ නොකරන ලද සිත් ඇත්තාවූ පුද්ගල තෙමේ ‘මම බලවත් වෙමි බලයෙන් ප්‍රයෝජන ඇත්තෙමියි’ හිංසා කිරීමෙන් හෝ බන්ධනයෙන් හෝ ධනය විනාශ කිරීමෙන් හෝ ගර්හා කිරීමෙන් හෝ රටින් නෙරපීමෙන් හෝ අසත්‍යයෙන් අන්‍යයාට දුක් නූපදවයිද එයද කුසලයකි. මෙසේ ඔහුට අලොභයෙන් උපන් අලොභය නිදානකොට ඇත්තාවූ ලොභය නිසා පහළ වන්නාවූ අලොභය ප්‍රත්‍යකොට ඇත්තාවූ නොයෙක් කුසල් ධර්මයෝ හටගනිත්.

(මේ සූත්‍රයේ 11 ඡෙදයේ ‘අලොභය’ වෙනුවට ‘අද්වෙෂය යොදා ඡෙදය සකස් කර ගත යුතුයි.)

(මේ සූත්‍රයේ 11 ඡෙදයේ ‘අලොභය’ වෙනුවට ‘අමොහය යොදා ඡෙදය සකස්කර ගත යුතුය.)

“මහණෙනි, මෙබඳු පුද්ගල තෙමේ කාලවාදීයයිද භූතවාදීයයිද අර්ථවාදීයයිද ධර්මවාදීයයිද විනයවාදීයයිද කියනු ලැබේ. මහණෙනි, කුමක් හෙයින් මෙබඳු පුද්ගලතෙම කාලවාදීයයිද භූතවාදීයයිද අර්ථවාදීයයිද ධර්මවාදීයයිද විනයවාදීයයිද කියනු ලැබේද? මහණෙනි, යම්සේ වනාහි මේ පුද්ගල තෙම ‘මම බලවත් වෙමි. බලයෙන් ප්‍රයෝජන ඇත්තෙමියි’ හිංසාකිරීමෙන් හෝ බන්ධනයෙන් හෝ ධනය විනාශ කිරීමෙන් හෝ ගර්හා කිරීමෙන් හෝ රටින් නෙරපීමෙන් හෝ අසත්‍යයෙන් අන්‍යයාට දුක් නූපදවයිද, සත්‍යයෙන් කියනු ලබන්නාවූ හෙතෙම පිළිගනියිද, අවමන් නොකරයිද, අසත්‍යයෙන් කියනු ලබන කල්හි මෙය මෙසේද අසත්‍යය මෙය මෙසේද අභූතයයි එය පැටලුම් හැරීම පිණිස උත්සාහ කරයිද එහෙයින් මෙබඳු පුද්ගල තෙමේ කාලවාදීයයිද, භූතවාදීයයිද අර්ථවාදීයයිද, ධර්මවාදීයයිද, විනයවාදීයයිද කියනු ලැබේ.

“මහණෙනි, මෙබඳු පුද්ගලයාගේ ලොභයෙන් හට ගන්නාවූ ලාමක අකුශල ධර්මයෝ ප්‍රහීනවූහ. සිඳින ලද මුල් ඇත්තාහ. කරටිය සිඳින ලද තල් ගසක් මෙන් කරනලදහ. නැවත නූපදින ස්වභාවය ඇත්තාහ. මේ ආත්මයෙහිම පීඩා රහිතවූ දැඩි වෙහෙස රහිතවූ දාහ රහිතවූ සැප විඳිමින් වාසය කරයි.

මේ ආත්මයෙහිම ද්වේෂයන් උපන්-මොහයෙන් උපන් ලාමක අකුශල ධර්මයෝ ප්‍රහීනවූවාහු සිඳින ලද මුල් ඇත්තාහු මස්තකය කපන ලද තල්ගසක් මෙන් කරන ලද්දාහු අභාවයට යවන ලද්දාහු මතු නූපදින සංඛ්‍යාවට කරණ ලද්දාහු මෙලොව විඩා නැතිව දැඩි ආයාස නැතිව දැවිලි නැතිව සැපසේ වසයි. මේ ආත්මයෙහිම කෙලෙස් පිරිනිවෙයි.

‘ලොභයෙන්’ වෙනුවට ‘ද්වෙෂයෙන්’ යයි 15 ඡෙදයට යෙදීමෙන් මේ ඡෙද සෑදේ.)

(‘ලොභයෙන්’ වෙනුවට ‘මොහයෙන්’ යයි 15 ඡෙදයට යෙදීමෙන් මේ ඡෙදය සෑදේ.)

“මහණෙනි, යම්සේ මාලුවා වැල් තුනකින් උඩට නගින ලද්දාවූ හාත්පස වෙළන ලද්දාවූ සල් ගසක් හෝ දැව ගසක් හෝ කොළොන්ගසක් වේද ඉක්බිති උදැල්ලක් ගෙන පුරුෂයෙක් එන්නේය. හෙතෙම ඒ මාලුවා වැල මුලින් සිඳින්නේය මුලින්සිඳ හාත්පස සාරන්නේය, හාත්පස සාරා අන්තිම වශයෙන් සැවැන්ද මුල් තරම් මුල්ද උදුරන්නේය. හෙතෙම ඒ මාලුවා වැල කඩ කඩ කොට සිඳින්නේය, කඩ කඩ කොට සිඳ පලන්නේය, පලා තීරු තීරු ඉරන්නේය. තීරු තීරු ඉරා අව්වෙහි වියලන්නේය. අව්වෙහි වියලා ගින්නෙන් දවන්නේය. ගින්නෙන් දවා අළු කරන්නේය. අළුකොට මහා වාතයෙහි හෝ ගසා හරින්නේය. ශීඝ්‍ර ජල පාර ඇති ගඟක හෝ පාකර හරින්නේය. මහණෙනි, මෙසේ ඒ මාලුවා වැල සිඳින ලද මුල් ඇත්තී වන්නීය. සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දීය. නොවැඩෙන බවට පමුණුවන ලද්දීය. නැවත නූපදින ස්වභාවය ඇත්තීය.

“මහණෙනි, එසේම මෙබඳු පුද්ගලයාගේ ලොභයෙන් හටගන්නාවූ අකුශලයෝ ප්‍රහීණවූහ. සිඳින ලද මුල් ඇත්තාහ. සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහ. නොවැඩෙන බවට පමුණුවන ලද්දාහ. නැවත නූපදින ස්වභාවය ඇත්තාහ. මේ ආත්මයෙහිම පීඩා රහිතවූ දැඩි වෙහෙස රහිතවූ දාහ රහිතවූ සැපය විඳිමින් වාසය කරයි. මේ ආත්මයෙහිම පිරිනිවෙයි.

(මේ සූත්‍රයේ 19 ඡෙදයේ ‘ලොභයෙන්’ වෙනුවට ‘ද්වෙෂයෙන්’ යයි යෙදීමෙන් මේ ඡෙදය සෑදේ)

(මේ සූත්‍රයේ 19 ඡෙදයේ ‘ලොභයෙන්’ වෙනුවට මෝහයෙන්යයිද යෙදීමෙන් මේ ඡෙදයසෑදේ)

“මහණෙනි, මේ වනාහි කුසල මූලයෝ තුන වෙත්.”