අංගුත්තර නිකාය

එක නිපාතය

7. මහා වර්ගය

61. (මහා) තිත්ථායතන සූත්‍රය

“මහණෙනි, පණ්ඩිතයින් විසින් කරුණු ඇසිය යුත්තාවූ හෙතු විමසිය යුත්තාවූ අනුශාසනා කළ යුත්තාවූ යම් ඒ තීර්ථකයන්ගේ දෘෂ්ටි කෙනෙක් පරම්පරා වශයෙන් (අතීතයට) ගොස් අක්‍රියා මාත්‍රයක පිහිටක්ද තීර්ථකයන්ගේ එබඳුවූ මේ මිථ්‍යා දෘෂ්ටි තුනක් වෙත්.

කවර තුනක්ද? “මහණෙනි, මේ පුරුෂ පුද්ගලතෙම යම් කිසි සැපයක් හෝ දුකක් හෝ නොදුක් නො සැපවූ යමක් හෝ විඳීද ඒ සියල්ල පූර්වකර්ම හෙතුවෙන්ම වේයයි කියන්නාවූ මෙසේ මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ.

“මහණෙනි, මේ පුරුෂ පුද්ගල තෙම යම්කිසි සැපයක් හෝ දුකක් හෝ නොදුක් නො සැපවූ යමක් හෝ විඳීද ඊශ්වරයා විසින් මවන ලද බැවින් යයි මෙසේ කියන්නාවූ මෙසේ මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. මේ පුරුෂ පුද්ගල තෙම යම්කිසි සැපයක් හෝ දුකක් හෝ නොදුක් නො සැපවූ යමක් හෝ විඳීද හේතුවක් ප්‍රත්‍යයක් නැතිව වීයයි. මෙසේ කියන්නාවූ මෙසේ මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ.

“මහණෙනි, ඔවුනතුරෙන් මේ පුරුෂ පුද්ගල තෙම යම්කිසි සැපයක් හෝ දුකක් හෝ මැදහත් බවක් හෝ විඳීද ඒ සියල්ල පෙර කරණ ලද කර්මය හේතුකොටගෙණ යයි මෙසේ කියන්නාවූ මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ යම් ඒ මහණ බමුණෝ වෙද්ද ඔවුන් වෙත පැමිණ මෙසේ කියමි. (කෙසේද) ‘ආයුෂ්මතුනි, තෙපි මේ පුරුෂ පුද්ගල තෙම යම්කිසි සැපයක් හෝ දුකක් හෝ නොදුක් නොසැපවූ යමක් විඳීද, පෙර කරණ ලද කර්මය හේතුකොට ගෙණ යයි මෙබඳු වාද ඇත්තාහුය, මෙබඳු දෘෂ්ටි ඇත්තාහුය යනු සැබෑද? කියායි.

“මෙසේ මා විසින් අසන ලද්දාවූ ඔව්හු ඉදින් එසේ යයි කියත් නම් මම ඔවුන්ට මෙසේ කියමි. (කෙසේද) ‘ආයුෂ්මතුනි, එසේවීනම් පෙර කරණ ලද කර්මය හේතු කොට ගෙන, ප්‍රාණඝාත කරන්නෝ වන්නාහුය. පෙර කරන ලද කර්මය නිසා සොරකම් කරන්නෝ වන්නාහුය. පෙර කරන ලද කර්මය නිසා බඹසර නැත්තෝ වන්නාහුය. පෙර කරනලද කර්මය නිසා බොරු කියන්නෝ වන්නාහුය. පෙර කරන ලද කර්මය නිසා කේළාම් කියන්නෝ වන්නාහුය. පෙර කරන ලද කර්මය නිසා පරුෂ වචන කියන්නෝ වන්නාහුය. පෙර කරන ලද කර්මය නිසා ප්‍රලාප කියන්නෝ වන්නාහුය. පෙර කරන ලද කර්මය නිසා අභිධ්‍යාව බහුල කොට ඇත්තෝ වන්නාහුය පෙර කරණ ලද කර්මය නිසා ව්‍යාපාද සිත් ඇත්තෝ වන්නාහුය. පූර්වකෘත කර්ම හේතුවෙන් මිථ්‍යාදෘෂ්ටි ඇත්තෝ වන්නාහුයයි’ කියායි.

“මහණෙනි, පෙර කරණ ලද්ද වනාහි සාරවශයෙන් ගන්නාවුන්ට මෙය කටයුතුයි කියා හෝ මෙය නොකටයුතුය කියා හෝ කැමැත්තක් හෝ උත්සාහයක් හෝ නැත්තේය. මෙසේ කටයුතු නොකටයුතු දෙක වනාහි සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් නොලබන කල්හි මුළාවූ සිහියෙන් ආරක්ෂා රහිතව වාසයකරන්නවුන්ට තම තමන්ගේ කරුණු සහිතවූ ශ්‍රමණ වාදයක් නැත. මහණෙනි, මේ වනාහි මෙබඳු වාද ඇත්තාවූ මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ ඒ මහණ බමුණන් කෙරෙහි මාගේ කරුණු සහිතවූ පළමුවැනි නිග්‍රහය වේ.

“මහණෙනි, මේ පුරුෂ පුද්ගල තෙම යම්කිසි සැපයක් හෝ දුකක් හෝ නොදුක් නොසැපවූ යමක් හෝ විඳීද ඒ සියල්ල ඊශ්වරයා විසින් මඩන ලද බැවින් යයි මෙසේ කියන්නාවූ මෙසේ මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ යම් ඒ මහණ බමුණෝ වෙත්ද ඔවුන් වෙත පැමිණ මෙසේ කියමි. “ආයුෂ්මතුනි, තෙපි මේ පුරුෂ පුද්ගලතෙම යම් කිසි සැපයක් හෝ දුකක් හෝ නොදුක් නොසැපවූ යමක් හෝ විඳීද ඊශ්වරයා විසින් මවනලද බැවින්යයි මෙබඳු වාද ඇත්තහුය. මෙබඳු දෘෂ්ටි ඇත්තාහුය යනු සැබෑද?’ කියායි.

“මෙසේ මා විසින් අසනලද්දාවූ ඔව්හු ඉඳින් එසේ යයි කියත් නම් මම ඔවුන්ට මෙසේ කියමි. (කෙසේද) ‘ආයුෂ්මතුනි එසේවීනම් ඊශ්වරයා විසින් මැවීම නිසා ප්‍රාණඝාත කරන්නෝ වන්නාහුය, ඊශ්වරයා විසින් මැවීම නිසා සොරකම් කරන්නෝ වන්නාහුය. ඊශ්වරයා විසින් මැවීම නිසා බඹසර නැත්තෝ වන්නාහුය. ඊශ්වරයා විසින් මැවීම නිසා බොරුකියන්නෝ වන්නාහුය. ඊශ්වරයා විසින් මැවීම නිසා කේළාම් කියන්නෝ වන්නාහුය. ඊශ්වරයා විසින් මැවීම නිසා ඵරුෂ වචන කියන්නෝ වන්නාහුය. ඊශ්වරයා විසින් මැවීම නිසා ප්‍රලාප කියන්නෝ වන්නාහුය. ඊශ්වරයා විසින් මැවීම නිසා අභිධ්‍යාව බහුලකොට ඇත්තෝ වන්නාහුය. ඊශ්වරයා විසින් මැවීම නිසා ව්‍යාපාද සිත් ඇත්තෝ වන්නාහුය. ඊශ්වරයා විසින් මැවීම නිසා මිථ්‍යාදෘෂ්ටි ඇත්තෝ වන්නාහු යයි’ කියායි.

“මහණෙනි, ඊශ්වරයා විසින් මැවීම වනාහි සාර වශයෙන් ගන්නවුන්ට මෙය කටයුතුය කියා හෝ මෙය නොකට යුතුය කියා හෝ කැමැත්තක් හෝ උත්සාහයක් හෝ නැත්තේය. මෙසේ කටයුතු නොකටයුතු දෙක වනාහි සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් නොලබන කල්හි මුළාවූ සිහියෙන් ආරක්ෂා රහිතව වාසය කරන්නවුන්ට තමතමන්ගේ කරුණු සහිතවූ ශ්‍රමණ වාදයක් නැත. මහණෙනි, මේ වනාහි මෙබඳු වාද ඇත්තාවූ මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ ඒ මහණ බමුණන් කෙරෙහි මාගේ කරුණු සහිතවූ දෙවැනි නිග්‍රහය වේ

“මහණෙනි, මේ පුරුෂ පුද්ගල තෙම යම්කිසි සැපයක් හෝ දුකක් හෝ නොදුක් නොසැපවූ යමක් හෝ විඳීද ඒ සියල්ල හේතුවක් ප්‍රත්‍යයක් නැතිව වීය යයි මෙසේ කියන්නාවූ මෙසේ මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ යම් ඒ මහණ බමුණෝ වෙත්ද ඔවුන් වෙත පැමිණ මෙසේ කියමි. ‘ආයුෂ්මතුනි, තෙපි මේ පුරුෂ පුද්ගලතෙම යම්කිසි සැපයක් හෝ දුකක් හෝ නොදුක් නොසැපවූ යමක් හෝ විඳීද ඒ සියල්ල හේතුවක් ප්‍රත්‍යයක් නැතිව වීයයි මෙබඳු වාද ඇත්තාහුය, මෙබඳු දෘෂ්ටි ඇත්තාහුය යනු සැබෑද?’ කියායි.

“මෙසේ මා විසින් අසනලද්දාවූ ඔවුහු ඉදින් එසේයයි කියත් නම් මම ඔවුන්ට මෙසේ කියමි. (කෙසේද?) ‘ආයුෂ්මතුනි, එසේවීනම් සියල්ල හේතුවක් ප්‍රත්‍යයක් නැතිව වීම නිසා ප්‍රාණඝාත කරන්නෝ වන්නාහුය. සියල්ල හේතුවක් ප්‍රත්‍යයක් නැතිව වීම නිසා සොරකම් කරන්නෝ වන්නාහුය. සියල්ල හේතුවක් ප්‍රත්‍යයක් නැතිව වීම නිසා බඹසර නැත්තෝ වන්නාහුය. සියල්ල හේතුවක් ප්‍රත්‍යයක් නැතිව වීම නිසා බොරුකියන්නෝ වන්නාහුය. සියල්ල හේතුවක් ප්‍රත්‍යයක් නැතිව වීම නිසා කේළාම් කියන්නෝ වන්නාහුය. සියල්ල හේතුවක් ප්‍රත්‍යයක් නැතිව වීම නිසා ඵරුෂ වචන කියන්නෝ වන්නාහුය. සියල්ල හේතුවක් ප්‍රත්‍යයක් නැතිව වීම නිසා ප්‍රලාපකියන්නෝ වන්නාහුය. සියල්ල හේතුවක් ප්‍රත්‍යයක් නැතිව වීම නිසා අභිධ්‍යාව බහුලකොට ඇත්තෝ වන්නාහුය. සියල්ල හේතුවක් ප්‍රත්‍යයක් නැතිව වීම නිසා ව්‍යාපාද සිත් ඇත්තෝ වන්නාහුය. සියල්ල හේතුවක් ප්‍රත්‍යයක් නැතිව වීම නිසා මිථ්‍යාදෘෂ්ටි ඇත්තෝ වන්නාහු යයි’ කියායි.

“මහණෙනි, සියල්ල හේතුවක් ප්‍රත්‍යයක් නැතිව වීම වනාහි සාරවශයෙන් ගන්නවුන්ට මෙය කටයුතුය කියා හෝ මෙය නොකටයුතුය කියා හෝ කැමැත්තක් හෝ උත්සාහයක් හෝ නැත්තේය. මෙසේ කටයුතු නොකටයුතු දෙක වනාහි සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් නොලබන කල්හි මුළාවූ සිහියෙන් ආරක්ෂා රහිතව වාසයකරන්නවුන්ට තමතමන්ගේ කරුණුසහිතවූ ශ්‍රමණ වාදයක් නැත. මහණෙනි, මේ වනාහි මෙබඳු වාද ඇත්තාවූ මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ ඒ මහණ බමුණන් කෙරෙහි මාගේ කරුණු සහිතවූ තුන්වැනි නිග්‍රහය වේ.”

(මේ ඡෙදය මේ සූත්‍රයේ 1 ඡෙදය මෙනි.)

“මහණෙනි, ශ්‍රමණයන් විසින්ද, බමුණන් විසින්ද, සෙසු නැණවතුන් විසින්ද, නිග්‍රහ නොකට හැක්කාවූ කිලුටු නොකළ හැක්කාවූ චොදනා නොකළ හැක්කාවූ පිළිකුල් නොකළ හැක්කාවූ මේ ධර්මය මා විසින් දෙශනා කරණ ලද්දේය. මහණෙනි, නිග්‍රහනොකට හැක්කාවූ කිලුටු නොකළ හැක්කාවූ චොදනා නොකළ හැක්කාවූ පිළිකුල් නොකළ හැක්කාවූ කවර නම් ධර්මයක් මා විසින් දෙශනා කරන ලද්දේද? මහණෙනි, මේ ධාතු සයයයි නිග්‍රහ නොකට හැක්කාවූ කිලුටු නොකළ හැක්කාවූ චොදනා නොකළ හැක්කාවූ පිළිකුල් නොකළ හැක්කාවූ ධර්මය මා විසින් දේශනා කරණ ලද්දේය, මේ ඵස්සායතන සයයයි නිග්‍රහනොකට හැක්කාවූ කිලුටු නොකළ හැක්කාවූ චොදනා නොකළහැක්කාවූ පිළිකුල් නොකළහැක්කාවූ ධර්මය මා විසින් දෙශනා කරණ ලද්දේය. මේ අටළොස් මනොප විචාරයයි. නිග්‍රහ නොකට හැක්කාවූ කිලුටු නොකළ හැක්කාවූ චොදනා නොකළ හැක්කාවූ පිළිකුල් නොකළ හැක්කාවූ මේ ධර්මය මා විසින් දෙශනා කරන ලදී. මේ සතර ආර්‍ය්‍ය සත්‍යයයි. නිග්‍රහ නොකොට හැක්කාවූ කිලුටු නොකළහැක්කාවූ චොදනා නොකළ හැක්කාවූ පිළිකුල් නොකළ හැක්කාවූ ධර්මය මා විසින් දේශනා කරණ ලද්දේය.

“මහණෙනි, මා විසින් නිග්‍රහ නොකට හැක්කාවූ කිලුටු නොකළ හැක්කාවූ චොදනා නොකළ හැක්කාවූ පිළිකුල් නොකළ හැක්කාවූ මේ ධාතු සයයයි ධර්මය දෙශනා කරන ලදැයි මෙසේ කියන ලද්දේය. මෙය කුමක් නිසා කියන ලද්දේද? මහණෙනි, මේ ධාතූහු සයක් වෙත්. එනම්, පඨවි ධාතුය, අපොධාතුය, තේජෝධාතුය, වායොධාතුය, ආකාශ ධාතුය යන මේයි.

“මහණෙනි, මේ ධාතු සයයයි. නිග්‍රහ නොකට හැක්කාවූ කිලුටු නොකළ හැක්කාවූ චොදනා නොකළ හැක්කාවූ පිළිකුල් නොකළ හැක්කාවූ ධර්මය මා විසින් දෙශනා කරන ලදි.

“මහණෙනි, මේ ඵස්සායතනයෝ සදෙනෙක් වෙත්ය, යන නිග්‍රහ නොකට හැක්කාවූ කිලුටු නොකළ හැක්කාවූ චොදනා නොකළ හැක්කාවූ පිළිකුල් නොකළ හැක්කාවූ ධර්මය දෙශනා කරන ලදැයි මා විසින් කියන ලදී. එය කුමක් පිණිස කියන ලද්දේද මහණෙනි, ඵස්සායතනයෝ මේ සදෙනෙක් වෙත්. චක්ඛු ඵස්සායතනයද, සොත ඵස්සායතනයද, ඝාන ඵස්සායතනයද, ජිව්හා ඵස්සායතනයද, කාය ඵස්සායතනයද, මනොසම්ඵස්සායතනයද වෙත්. මහණෙනි, නිග්‍රහ නොකට හැක්කාවූ කිලුටු නොකළ හැක්කාවූ චොදනා නොකළ හැක්කාවූ පිළිකුල් නොකළ හැක්කාවූ මේ ඵස්සායතන සයයයි මා විසින් නිග්‍රහ නොකට හැක්කාවූ කිලුටු නොකළ හැක්කාවූ චොදනා නොකළ හැක්කාවූ පිළිකුල් නොකළ හැක්කාවූ ධර්මය දෙශනා කරන ලදැයි යමක් කියන ලද නම් එය මේ සඳහා කියන ලදී.

“මහණෙනි, මා විසින් මේ අටළොස් මනොපවිචරයයි නිග්‍රහ නොකට හැක්කාවූ කිලුටු නොකළ හැක්කාවූ චොදනා නොකළ හැක්කාවූ පිළිකුල් නොකළ හැක්කාවූ මා විසින් කියන ලදැයි මෙසේ යමක් කියන ලද්දේද එය කුමක් සඳහා කියන ලද්දේද? ඇසින් රූපයක් දැක සොම්නසට කරුණුවූ රූපයෙහි සිත හසුරුවයි. දොම්නසට කරුණුවූ රූපයෙහි සිත හසුරුවයි. උපෙක්ෂාවට කරුණුවූ රූපයෙහි සිත හසුරුවයි.

“කණින් ශබ්දයක් අසා සොම්නසට කරුණුවූ ශබ්දයෙහි සිත හසුරුවයි, දොම්නසට කරුණුවූ ශබ්දයෙහි සිත හසුරුවයි උපෙක්ෂාවට කරුණුවූ ශබ්දයෙහි සිත හසුරුවයි.

“නාසයෙන් ගඳක් ආඝ්‍රානයකොට සොම්නසට කරුණුවූ ගන්ධයෙහි සිත හසුරුවයි, දොම්නසට කරුණුවූ ගන්ධයෙහි සිත හසුරුවයි, උපෙක්ෂාවට කරුණුවූ ගන්ධයෙහි සිත හසුරුවයි.

“දිවෙන් රසයක් විඳ සොම්නසට කරුණුවූ රසයෙහි සිත හසුරුවයි, දොම්නසට කරුණුවූ රසයෙහි සිත හසුරුවයි, උපෙක්ෂාවට කරුණුවූ රසයෙහි සිත හසුරුවයි.

“කයින් ස්පර්ශයක් ස්පර්ශකොට සොම්නසට කරුණුවූ ස්පර්ශයෙහි සිත හසුරුවයි, දොම්නසට කරුණුවූ ස්පර්ශයෙහි සිත හසුරුවයි, උපෙක්ෂාවට කරුණුවූ ස්පර්ශයෙහි සිත හසුරුවයි.

“සිතින් ධර්මයක් දැන සොම්නසට කරුණුවූ ධර්මයෙහි සිත හසුරුවයි, දොම්නසට කරුණුවූ ධර්මයෙහි සිත හසුරුවයි, උපෙක්ෂාවට කරුණුවූ ධර්මයෙහි සිත හසුරුවයි. මහණෙනි, මේ සිත හැසිරෙන අටළොස් තැනයයි ශ්‍රමණයන් විසින් හෝ බ්‍රාහ්මණයන් විසින් හෝ නුවණැත්තන් විසින් හෝ නිග්‍රහ නොකට හැක්කාවූ කිලිටිනොකළ හැක්කාවූ චොදනා නොකළ හැක්කාවූ පිළිකුල් නොකළ හැක්කාවූ ධර්මය මා විසින් දෙශනා කරණ ලදී.

“මහණෙනි, සවැදෑරුම් ධාතූන් නිසා ගර්භයාගේ පහළවීමවේ. දරුගැබ පහළවීම ඇතිකල්හි නාමය හා රූපය පහළ වේ. නාමය හා රූපය ප්‍රත්‍යවීමෙන් ආයතන සය ඇතිවේ ආයතනය සය ප්‍රත්‍යයවීමෙන් ස්පර්ශය ඇති වේ. ස්පර්ශය ප්‍රත්‍යවීමෙන් වේදනා ඇතිවේ. මහණෙනි, මම මිදීම ලබන්නට දුකයයි පණවමි. මේ දුක් ඉපදීමට හෙතුවයයි පනවමි. මේ දුක් නැතිවීමයයි පනවමි. මේ දුක් නිරොධයට යන ප්‍රතිපදාවයයි පනවමි. මහණෙනි, දුක්ඛාර්‍ය්‍ය සත්‍යය කවරේද?

“ඉපදීම දුකය, ජරාව දුකය, ව්‍යාධිය දුකය, මරණය දුකය ශොකය වැලපීම, දුක් දොම්නස දැඩි ආයාස දුක්ය, බලාපොරොත්තු යමක් නොලැබීමද දුකය සංක්ෂෙපයෙන් උපාදාන ස්කන්ධ පසම දුකය. මහණෙනි, මෙය දුක්ඛාර්‍ය්‍ය සත්‍යයයි කියනු ලැබේ.

මහණෙනි, දුක්ඛසමුදයාර්‍ය්‍ය සත්‍යය කවරේද? අවිද්‍යාව ප්‍රත්‍යයවීමෙන් සංස්කාර උපදී. සංස්කාර ප්‍රත්‍යය වීමෙන් විඤ්ඤාණය උපදී. විඤ්ඤාණය ප්‍රත්‍යවීමෙන් නාම රූප උපදී, නාම රූප ඉපදීමෙන් ෂඩායතන උපදී. ෂඩායතන ප්‍රත්‍යයවීමෙන් ස්පර්ශය උපදී, ස්පර්ශය ප්‍රත්‍යය වීමෙන් වේදනාව උපදී, වේදනාව ප්‍රත්‍යය වීමෙන් තණ්හාව උපදී, තණ්හාව ප්‍රත්‍යය වීමෙන් දැඩිකොට ගැනීම උපදී, දැඩිකොට ගැනීමෙන් භවය උපදී, භවය ප්‍රත්‍යවීමෙන් ඉපදීමවේ. ඉපදීම ප්‍රත්‍යවීමෙන් ජරා, මරණ, ශොක වැලපීම දුක් දොම්නස් දැඩි ආයාසයෝ පහළ වෙත්. මෙසේ මේ සම්පූර්ණ දුක් රාශිය පහළවීම වේ. මහණෙනි, මේ දුක්ඛසමුදයාර්‍ය්‍ය සත්‍යයයි කියනු ලැබේ.

“අවිද්‍යාහුගේම වනාහි නිරවශෙෂ වශයෙන් දුරුකිරීම් වශයෙන් නිරෝධයෙන් සංස්කාරයන්ගේ නිරෝධය වේ. සංස්කාරයන්ගේ නිරෝධයෙන් විඤ්ඤානයාගේ නිරෝධය වේ. විඤ්ඤාණයන්ගේ නිරෝධයෙන් නාමරූපයන්ගේ නිරොධය වේ. (6 ඡෙදයේ තුන්වෙනි කොටසේ නාමරූප ඉපදීමෙන් ‘යන්නට’ ‘නාම රූප නිරොධයෙන්’ කියාද උපදී යන්නට නිරොධය වේ කියාද යොදා දැඩි ආයාසයෝ නිරුද්ධවෙත් යන්න දක්වා යොදා ගන්න.) මෙසේ මේ සම්පූර්ණ දුක් රාශිය නැතිවීම වේ. මහණෙනි, මේ දුක්ඛනිරොධාර්‍ය්‍ය සත්‍යයයි කියනු ලැබේ.

“මහණෙනි, දුක් නිරුද්ධවීමය යන ප්‍රතිපදාවවූ ආර්‍ය්‍ය සත්‍යය කවරේද? මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයමය, එනම් සම්මාදිට්ඨි, සම්මාසංකප්ප, සම්මාවාචා සම්මාකම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මාසති, සම්මා සමාධි යන අටයි. මහණෙනි, මේ දුක් නැතිකිරීමට පමුණුවන ප්‍රතිපදාවවූ ආර්‍ය්‍ය සත්‍යයයි කියනු ලැබේ.

“මහණෙනි, මා විසින් ශ්‍රමණයන් විසින්ද බ්‍රාහ්මණයන් විසින්ද සෙසු නැනවතුන් විසින්ද නිග්‍රහ නොකට හැක්කාවූ පිරිසිදුවූ, දොස් නොකියහැකිවූ අවනම්බු නොකරණ ලද්දාවූ මේ සතර ආර්‍ය්‍ය සත්‍යයෝ දේශනා කරණ ලදීයයි යමක් වදාරණ ලද්දේ නම් එය මේ සඳහා වදාරන ලදී.