අංගුත්තර නිකාය

එක නිපාතය

6. බ්‍රාහ්මණ වර්ගය

57. වච්ඡගොත්ත සූත්‍රය

එකල්හි වනාහි වච්ඡගොත්ත නම් පරිබ්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. “භවත් ගෞතමයන් වහන්ස, මා විසින් මේ කාරණය අසන ලදී. (එනම්)

ශ්‍රමණ ගෞතම තෙමේ මෙසේ කියයි. කෙසේද, ‘මටම දන්දිය යුතුයි. අනුන්ට දන් නොදිය යුතුයි. මගේම ශ්‍රාවකයන්ට දන් දිය යුතුයි. අනුන්ගේ ශ්‍රාවකයන්ට දන් නොදිය යුතුයි. මටම දෙන ලද්ද මහත්වූ ඵලවිපාක ඇති වෙයි. අනුන්ට දෙන ලද්ද මහත්ඵල ඇති නොවෙයි. මගේම ශ්‍රාවකයන්ට දෙන ලද්ද මහත්ඵලයි. අන්‍යයන්ගේ ශ්‍රාවකයන්ට දෙනලද්ද මහත්ඵල නැත්තේය’ කියායි.

“භවත් ගෞතමයන් වහන්ස, යම් කෙනෙක් මෙසේ කීවාහුද, (කෙසේද) (මෙහි මේ සූත්‍රයේ 2 ඡෙදය යොදාගත යුතුයි.)

“කිමෙක්ද ඔව්හු භවත් ගෞතමයන් වහන්සේ විසින් කියන ලද්දක් කියන්නෝ වෙත්ද, භවත් ගෞතමයන් වහන්සේට අසත්‍යයෙන් චොදනා නොකරද්ද කියන ලද්දට අනුකූලවූවක් කියත්ද, හේතු සහිතවූ කිසියම් කීමක් ගැරහිය යුතු බවට නොපැමිණේද, අපි වනාහි භවත් ගෞතමයන් වහන්සේට දොස් කියනු නොකැමැත්තෝ වම්හ.”

‘වච්ඡය, යම් කෙනෙක් මෙසේ කියද්ද ‘මටම දන් දිය යුතුයි, අනුන්ට දන් නොදිය යුතුයි, මගේම ශ්‍රාවකයන්ට දන් දිය යුතුයි, අනුන්ගේ ශ්‍රාවකයන්ට දන් නොදිය යුතුයි. මටම දෙන ලද්ද මහත්වූ ඵලවිපාක ඇති වෙයි. අනුන්ට දෙන ලද්ද මහත්ඵල ඇති නොවෙයි. මගේම ශ්‍රාවකයන්ට දෙනලද්ද මහත්ඵලයි. අන්‍යයන්ගේ ශ්‍රාවකයන්ට දෙනලද්ද මහත්ඵල නැත්තේය’ කියායි. ඔවුහු මා විසින් කියනලද්දක් කියන්නෝ නොවෙත්. ඔව්හු අසත්‍යයෙන් දොෂාරොපණය කරත්. යමෙක් වනාහි දන් දෙන්නාවූ අනිකෙකු වළක්වාද, හෙතෙම තුන්දෙනෙකුට අන්තරාය කරන්නෙක්වේ. තුන් දෙනෙකුගේ මංපහරණ සොරෙක් වැනිවෙයි. කවර තුන් දෙනෙකුන්ගේද, දායකයාගේ පිනට අනතුරු කරන්නෙක් වෙයි, ප්‍රතිග්‍රාහකයන්ගේ ලාභයට අනතුරු කරන්නෙක් වෙයි, පළමුකොටම තමා නසන ලද්දෙක් වෙයි, විනාශකරන ලද්දෙක් වෙයි.

“මම වනාහි මෙසේ කියමි. අසූචිමඩවළෙක් හෝ ගම්දොර ගවර වළෙක් හෝ යම් ඒ ප්‍රාණීහු වෙත්ද, එහි ඒ සත්වයෝ මෙයින් ජීවත් වෙත්වායි, සැළි සේදූ වතුරක් හෝ මළ සේදූ වතුරක් හෝ දමත්ද, වච්ඡය මම ඒ හේතුකොට ගෙණද පින්සිදුවීම කියමි. මනුෂ්‍යවූවෙකුට දුන්කල්හි පින් සිදුවීම කියනුම කවරේද?

“වච්ඡය, එතෙකුදු වුවත් මම ශීලවන්තයාට දෙන ලද්ද මහත්ඵල ඇත්තේයයි කියමි. දුශ්ශීලයාට දෙනලද්ද එසේ මහත් ඵල ඇත්තේ නොවෙයි. ඒ සිල්වත් තෙමේද අංග පසකින් දුරුවූයේද අංග පසකින් යුක්ත වූයේද වෙයි. කවර අංග පසක් දුරුවූවාහුද කාමච්ඡන්දය ප්‍රහීණවූයේ වෙයිද ව්‍යාපාදය ප්‍රහීණවූයේ වෙයිද, ථීනමිද්ධය ප්‍රහීණවූයේ වෙයිද, උද්ධච්චකුක්කුච්චය ප්‍රහීණවූයේ වෙයිද, විචිකිච්ඡාව ප්‍රහීණ වූයේ වේද, මේ පඤ්චාංගයෝ ප්‍රහීණවූවාහු වෙත්.

“කවර නම් අංග පසකින් යුක්තවූයේ වෙයිද, අශෛක්ෂවූ ශීල ස්කන්ධයෙන් සමන්විතවූයේ වෙයිද, අශෛක්ෂවූ සමාධි ස්කන්ධයෙන් සමන්විතවූයේ වෙයිද, අශෛක්ෂවූ ප්‍රඥා ස්කන්ධයෙන් සමන්විතවූයේ වෙයිද, අශෛක්ෂවූ විමුක්ති ස්කන්ධයෙන් සමන්විතවූයේ වෙයිද, අශෛක්ෂවූ ප්‍රත්‍යවෙක්ෂා ඥාන සමූහයෙන් යුක්තවූයේ වෙයිද මේ අංගපසින් යුක්තවූයේ වෙයි. මෙසේ පඤ්චාංගයක් ප්‍රහීණ කළාවූ පඤ්චාංගයකින් සමන්විතවූ ක්ෂීණාශ්‍රවයන් කෙරෙහි දෙන ලද්ද මහත්ඵල ඇත්තේයයි කියමියි” වදාළේය.

(1) “මෙසේ කළුපාටවූ හෝ සුදුපාටවූ හෝ රතුපාටවූ හෝ රන්වන්වූ හෝ කබරවූ හෝ තමන්ගේ වස්සන් හා සමාන වර්ණ ඇත්තාවූ හෝ පරෙවි වර්ණ ඇත්තාවූ හෝ දෙනුන් කෙරෙහිද.

(2) යම් ඒ කවර දෙනුන් කෙරෙහි හෝ බර ඉසිලිය හැකිවූ ශක්තිසම්පන්නවූ යහපත්වූ ජවයෙන් යුක්තවූ දැමුනාවූ වෘෂභයෙක් තෙම උපදීද.

ඔහුම බරෙහි යොදත්. ඔහුගේ ශරීර වර්ණය පරීක්ෂා නොකෙරෙත්, එපරිද්දෙන්ම මිනිසුන් අතුරෙහි යම් කිසි කුල සමූහයෙක්හි.

(3) (4) එනම්, ක්ෂත්‍රිය කුලයෙහි හෝ බ්‍රාහ්මණ කුලයෙහි හෝ වෛශ්‍යකුලයෙහි හෝ ශුද්‍රකුලයෙහි හෝ සැඩොල් කුලයෙහි හෝ මල්ඉවතලන කුලයෙහි හෝ යම්කිසි ජාතියෙක්හි ධර්මයෙහි පිහිටියාවූ ශීලයෙන් යුක්තවූ සත්‍යය කියන්නාවූ පාපයෙහි ලජ්ජා ඇත්තාවූ ප්‍රහීණ කරණ ලද ජාතිය හා මරණය ඇත්තාවූ සම්පූර්ණවූ බ්‍රහ්මචර්‍ය්‍යාව ඇත්තාවූ.

(5) (6) බහා තබනලද ස්කන්ධාදි බර ඇත්තාවූ සතර යොගයෙන් බැහැරවූ සතර මාර්ගයෙන් කරණලද කෘත්‍ය ඇත්තාවූ සසරින් පරතෙරට ගියාවූ තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් අල්වානොගෙන කෙලෙස් පිරිනිවීමෙන් පිරිනිවියාවූ මනා පැවතුම් ඇති දැමුණාවූ පුද්ගලයෙක් උපදීද.

(7) (8) (9) රාගාදී රජස් රහිතවූ එම කෙතෙහි වපුරන ලද දක්ෂිණාව මහත්වූ ඵල ඇත්තී වෙයි. කෙත නොදන්නාවූ නුවණ නැත්තාවූ ක්ෂත්‍ර විනිශ්චය නොඇසූ අඥානයෝ වනාහි මේ සස්නෙන් පිටත්හි දානයෙන් දෙත්. සත්පුරුෂයන් වෙත නොඑලඹෙත්. යම්කෙනෙක් ප්‍රඥාසම්පන්නවූ පණ්ඩිතයයි සම්මත කරණ ලද සත්පුරුෂයන් කරා එළඹෙත්ද-ඔවුන්ගේ ශ්‍රද්ධාවද සුගතයන්වහන්සේ කෙරෙහි හටගත් මුල් ඇත්තී පිහිටියාවන්නීය. ඒ පණ්ඩිතයෝ දෙව්ලොවටද පැමිණෙත්, මේ මිනිස්ලෙව්හි උතුම් කුලයෙක්හි හෝ උපදිත්. පිළිවෙළින් නිර්වාණයටද පැමිනෙත්යයි” (වදාළසේක).