කන්දරක සූත්‍රය—A.P. de Zoysa

මජ්ඣිම නිකාය

මජ්ඣිම පණ්ණාසකය

1. ගෘහපති වර්ගය

51. කන්දරක සූත්‍රය

නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස

මා විසින් (මේ සූත්‍රය) මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ “චම්පානම්” නුවර ගර්ගරා නම් පොකුණු ඉවුරෙහි මහත්වූ භික්ෂු සංඝයා සමග වැඩ වාසය කරති. එකල්හි පෙස්ස නම්වූ හස්ත්‍යාරොහක පුත්‍ර (ඇතුන් බලන්නාගේ පුත්‍ර) තෙමේද කන්දරක නම්වූ පරිබ්‍රාජක තෙමේද භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ පෙස්ස නම් ඇතරුපුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක පැත්තක හුන්නේය. කන්දරක නම් පිරිවැජියාද භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු විය යුතු වූ සිහි කටයුතුවූ කථාව කොට නිමවා එක පැත්තක සිටියේය. එක පැත්තක සිටියාවූ කන්දරක නම් පිරිවැජි තෙමේ නිශ්ශබ්දවූ භික්ෂු සංඝයා දෙස බලා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය. “භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්‍ය්‍යයෙක, (අසුරු ගැසීමට සුදුසුය) භවත් ගෞතමයන් වහන්ස, අද්භූතයෙක, (නුවූවිරූ දෙයක) භවත් ගෞතමයන් වහන්සේ විසින් ඉතා හොඳින් භික්ෂු සංඝතෙම පිළියෙල කරන ලද්දේය.

“භවත් ගෞතමයෙනි, අතීතකාලයෙහි යම් අර්හත් සම්‍යක් සම්බුද්ධ කෙනෙක් වූවාහුද ඒ භාග්‍යවත්හුද මෙතරම්ම හොඳින් භික්ෂු සංඝයා පිළියෙල කළාහුය. මෙකල්හි භවත් ගෞතමයන් විසින් භික්ෂු සංඝතෙම මනාකොට පිළියෙල කරන ලද්දේ යම්සේද (එමෙනී) භවත් ගෞතමයෙනි, මතු කාලයෙහි යම් අර්හත් සම්‍යක් සම්බුද්ධ කෙනෙක් වන්නාහුද, ඒ භාග්‍යවත්හුද මෙතරම්ම හොඳින් භික්ෂු සංඝයා පිළියෙල කරන්නාහුය. මෙකල්හි භවත් ගෞතමයන් වහන්සේ විසින් භික්ෂු සංඝතෙම හොඳින් පිළියෙල කෙළේ යම්සේද (එමෙනැ’යි” කීයේය)

“කන්දරකය, ඒ කාරණය එසේමය, කන්දරකය, ඒ කාරණය එසේමය කන්දරකය, ඉකුත් කාලයෙහි යම් අර්හත් සම්‍යක් සම්බුද්ධකෙනෙක් වූවාහුද, ඒ භාග්‍යවත්හුද මේ තරම්ම හොඳින් භික්ෂුසංඝයා පිළියෙල කළාහුය. මෙකල්හි මා විසින් භික්ෂු සංඝතෙමේ පිළියෙල කරනලද්දේ යම්සේද එමෙනි, කන්දරකය, මතු කාලයෙහි යම් මේ අර්හත් සම්‍යක් සම්බුද්ධ කෙනෙක් වන්නාහුද, ඒ භාග්‍යවත්හුද මෙතරම්ම හොඳින් භික්ෂු සංඝයා පිළියෙල කරන්නාහුය. මෙකල්හි මා විසින් භික්ෂු සංඝයා පිළියෙල කරන ලද්දේ යම්සේද (එමෙනි.)

“කන්දරකය, මේ භික්ෂු සංඝයා අතර ක්ෂය කළ ආශ්‍රව ඇති, වැස නිමවන ලද මාර්ග බ්‍රහ්මචරියාව ඇති, අවසාන කරනලද කටයුතු ඇති, බහා තබනලද කෙලෙස් බර ඇති, පිළිවෙලින් පැමිණියාවූ අර්හත් මගඇති, ක්ෂය කළාවූ භව සංයෝජන ඇති, මනාකොට නුවණින් දැන කෙලෙසුන් කෙරෙන් මිදුනාවූ රහත් භික්ෂූහුද ඇත්තාහුමය. කන්දරකය, මේ භික්ෂු සංඝයා අතර නිතර පවත්නා සිල් ඇත්තාවූ, නිතර පවත්නා යහපත් පැවතුම් ඇත්තාවූ, නුවණ ඇත්තාවූ, නුවණින් කරන පැවතුම් ඇත්තාවූ සතර සතිපට්ඨානයන්හි මනාව එළඹ සිටි සිත් ඇති, භික්ෂූහුද වාසය කරත්. කවර සතිට්ඨාන සතරක ද යත්? කන්දරකය, මේ ශාසනයෙහි මහණ තෙම කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ මනා නුවණ ඇත්තේ සිහි ඇත්තේ ස්කන්ධ ලොකයෙහි ලොභ දොසයන් දුරුකොට කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරයි. කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, යහපත් නුවණ ඇත්තේ, සිහි ඇත්තේ විඳීම් රාසියෙහි ලොභය හා දොම්නස සංසිඳුවාගෙන විඳීම් කෙරෙහි විඳීම් නැවත නැවත බලමින් වාසය කරයි. කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, යහපත් නුවණ ඇත්තේ සිහි ඇත්තේ, සිත් සමූහයෙහි ලොභය හා දොම්නස සංසිඳුවාගෙන සිත් කෙරෙහි සිත් නැවත නැවත බලමින් වාසය කරයි. කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ යහපත් නුවණ ඇත්තේ සිහි ඇත්තේ ධර්ම රාසියෙහි ලොභය හා දොම්නස සංසිඳුවාගෙන ධර්මයන් කෙරෙහි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරයි.” (යන සතර සතිපට්ඨානයන්හිය.)

මෙසේ වදාළ කල්හි පෙස්ස නම් ඇතරුපුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. “ස්වාමීනි, ආශ්චර්‍ය්‍යය, ස්වාමීනි, අද්භූතය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සතර සතිපට්ඨානයෝ සත්වයන්ගේ විසුද්ධිය පිණිස, ශොක පරිදෙවයන්ගේ ඉක්මවීම පිණිස, දුක් දොම්නස් දෙදෙනාගේ නැසීම පිණිස, මාර්ගඥාන ලැබීම පිණිස නිවණ අවබොධ කිරීම පිණිස ඉතා හොඳින් පනවන ලද්දාහුමය. ස්වාමීනි, අපිදු ගිහිවු සුදු වත් අඳනාහු කලින් කල මේ සතර සතිපට්ඨානයන්හි මනාව එළඹ සිටි සිත් ඇත්තෝව වාසය කරමු. ස්වාමීනි, මෙහි අපි කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව මනා නුවණ ඇතිව සිහි ඇතිව ලොකයෙහි ලොභය හා දොම්නස දුරුකොට කයෙහි කය නැවත නැවත බලමින් වාසයකරමු. කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහි ඇතිව විඳීම් රාසියෙහි ලොභය හා දොම්නස සංසිඳුවා ගෙන විඳීම් කෙරෙහි විඳීම් නැවත නැවත බලමින් වාසය කරමු. කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහි ඇත්තාහු සිත් සමූහයෙහි ලොභය හා දොම්නස සංසිඳුවා ගෙන සිත් කෙරෙහි සිත් නැවත නැවත බලමින් වාසය කරමු. කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහි ඇතිව ධර්ම රාසියෙහි ලොභය හා දොම්නස සංසිඳුවා ගෙන ධර්මයන් කෙරෙහි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරමු. ස්වාමීනි ආශ්චර්‍ය්‍යය, ස්වාමීනි අද්භූතය, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මෙසේ මිනිසුන්ගේ වැසුණු අදහස් කිලුටු අදහස් කෛරාටික අදහස් පවත්නා කල්හි සත්වයන්ට හිතවූද, අහිතවූද ප්‍රතිපදාව මැනවීන් දන්නා සේක්මය. ස්වාමීනි, යම් මේ මනුෂ්‍යයෝ වෙත්ද, මොවුන්ගේ අදහස වැසුණේ මැයි (දැනගත නොහැකිමැයි) ස්වාමීනි, යම් මේ සිවුපා සත්තු වෙත්ද (මොවුන්ගේ අදහස) පැහැදිලිමය ස්වාමීනි, මම වනාහි හස්ති ධර්මය (ඇතුන්ගේ ස්වභාව) සිහි කරවන්ට හැකිවෙමි. යම්තාක් වාරයක් චම්පා නුවරට යාම් ඊම් කරන්නේද ඒ සියලු වාරයන්හි හස්ති තෙමේ සිටිනු කැමති කල්හි සිටින්නේය. පිට සිටින්නා හෙළනු කැමති කල්හි හෙළන්නේය. ආපසු යනු කැමති කල ආපසු යන්නේය. වමින් හෝ දකුණින් හෝ කෙලින් හෝ යනු කැමති කල එසේ යන්නේය. මලමුත්‍ර කරනු කැමති කල එතනම මලමුත්‍ර කරන්නේය. ස්වාමීනි, අපගේ වනාහි දාසයෝය පණිවුඩකාරයෝය කම්කරුවෝය යන යම් කෙනෙක් වෙත්ද, ඔවුහු අන් පරිද්දකින්ම කයින් හැසිරෙත්. අන් පරිද්දකින් වචනයෙන් කථාකරත්. අන් පරිද්දකින් සිතින් සිතත්. ස්වාමීනි, අශ්චර්‍ය්‍යය, ස්වාමීනි අද්භූතය ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මෙසේ මිනිසුන්ගේ අදහස් අපිරිසිදු බව, මෙසේ මිනිසුන්ගේ අදහස් අප්‍රකට බව, මෙසේ මිනිසුන්ගේ අදහස් කෛරාටික බව පවත්නා කල්හි සත්වයන්ට හිතවූද, අහිතවූද ප්‍රතිපදාව දන්නා සේක්මය. ස්වාමීනි, යම් මේ මිනිස්සු වෙත්ද, මොවුන්ගේ මේ අදහස අප්‍රකටමය. ස්වාමීනි, යම් මේ සිවුපා සත්තු වෙත්ද මොවුන්ගේ මේ අදහස ප්‍රකටමයයි කීයේය.

“පෙස්සය, ඒ කාරණය එසේය. පෙස්සය ඒ කාරණය එසේය. පෙස්සය යම් මේ මිනිස්සු වෙත්ද (මොවුන්ගේ) මේ අදහස අප්‍රකටය. පෙස්සය, යම් මේ සිවුපා සත්තු වෙත්ද (මොවුන්ගේ) මේ අදහස පැහැදිලිය.

“පෙස්සය, ලොකයෙහි මේ පුද්ගලයෝ සතරදෙනෙක් වෙත්. කවර සතරදෙනෙක්ද යත්? පෙස්සය, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් තමා තවන්නේ තමහට තැවීම කරන්නාවූ පිළිවෙතෙහි යෙදුනේ වෙයි. පෙස්සය, මේ ලොකයෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් අනුන් තවන්නේ අනුන් තවන පිළිවෙතෙහි යෙදුනේ වෙයි. පෙස්සය, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් තමා තවන්නේ තමා තවන්නාවූ පිළිවෙතෙහි යෙදුනේද අනුන් තවන්නේ අනුන් තවන පිළි වෙතෙහි යෙදුනේද වෙයි, පෙස්සය, මේ ලොකයෙහි වනාහී ඇතැම් පුද්ගලයෙක් තමා නොතවන්නේ තමා නොතවන්නාවූ පිළිවෙතෙහි යෙදුනේද අනුන් නොතවන්නේ අනුන් තවන පිළිවෙතෙහි නොයෙදුනේද වෙයි. තමාද නොතවන්නාවූ අනුන්ද නොතවන්නාවූ ඒ පුද්ගලතෙමේ මේ ආත්මයෙහිම තෘෂ්ණා රහිතවූයේ නිවුනේද සිහිල්වූයේ (ධ්‍යාන මාර්ග ඵල නිර්වාණ) සැප විඳින ශ්‍රෙෂ්ඨවූ පුද්ගලයෙක්ව වාසය කරයි, පෙස්සය, මේ පුද්ගලයන් සතරදෙනා අතුරෙන් කවර පුද්ගලයෙක් තොපගේ සිත සතුටු කෙරේදැ”යි (ඇසූහ.)

“ස්වාමීනි, යම් මේ පුද්ගලයෙක් තමා තවන්නේ තමා තවන්නාවූ පිළිවෙතෙහි යෙදුනේ වේද මේ පුද්ගලතෙම මාගේ සිත සතුටු නොකරයි, ස්වාමීනි, යම් මේ පුද්ගලයෙක් අනුන් තවන්නේ අනුන් තවන පිළිවෙතෙහි යෙදුනේ වේද මේ පුද්ගලතෙමේද මාගේ සිත සතුටුනොකරයි, ස්වාමීනි, යම් මේ පුද්ගලයෙක් තමා තවන්නේ තමා තවන පිළිවෙතෙහි යෙදුනේද අනුන් තවන්නේ අනුන් තවන පිළිවෙතෙහි යෙදුනේත් වේද මේ පුද්ගල තෙමේද මාගේ සිත සතුටු නොකරයි, ස්වාමීනි, යම් මේ පුද්ගලයෙක් වනාහි තමා නොතවන්නේම තමා නොතවන්නාවූ පිළිවෙතෙහි යෙදුනේද, අනුන් නොතවන්නේ අනුන් තවන පිළිවෙතෙහි නොයෙදුනේවේද තමා නොතවන්නාවූ අනුන් නොතවන්නාවූ හෙතෙම මේ ආත්මයෙහිම තෘෂ්ණා රහිතවූයේ කෙලෙසුන්ගෙන් මිදුනේ සිහිල්වූයේ ධ්‍යානාදී සුව විඳිමින් ශ්‍රෙෂ්ඨවූ පුද්ගලයෙක්ව වාසය කෙරේද, මේ පුද්ගලතෙම මාගේ සිත සතුටු කෙරේය”යි කීයේය.

“පෙස්සය, කුමක් හෙයින් වනාහි මේ පුද්ගලයෝ තුන්දෙන තොපගේ සිත සතුටු නොකරද්ද”යි (ඇසූසේක) “ස්වාමීනි, යම් මේ පුද්ගලයෙක්තෙම තමා තවන්නේ තමා තවන පිළිවෙතෙහි යෙදුනේවේද, හෙතෙම සැපයට කැමතිවූ දුකට පිළිකුල් කරන්නාවූ තමා තවයි, අතිශයින් තවයි. මේ කාරණයෙන් මේ පුද්ගලතෙම මාගේ සිත සතුටු නොකරයි. ස්වාමීනි, යම් මේ පුද්ගලයෙක් අනුන් තවන්නේ අනුන් තවන පිළිවෙතෙහි යෙදුනේ වේද, හෙතෙම සැපයට කැමතිවූ දුකට පිළිකුල් කරන්නාවූ අන්‍යයා තවයි, අතිශයින් තවයි. මේ කාරණයෙන් මේ පුද්ගලතෙම මාගේ සිත සතුටු නොකරයි. ස්වාමීනි, යම් මේ පුද්ගලයෙක් තමා තවන්නේ තමා තවන පිළිවෙතෙහි යෙදුනේද අනුන් තවන්නේ අනුන් තවන පිළිවෙතෙහි යෙදුනේත් වේද, හෙතෙම සැපයට කැමතිවූ දුකට පිළිකුල් කරන්නාවූ තමාද අනුන්ද තවයි, අතිශයින් තවයි. මේ කාරණයෙන් මේ පුද්ගලතෙම මාගේ සිත සතුටු නොකරයි. ස්වාමීනි, යම් මේ පුද්ගලයෙක් තමා නොතවන්නේ තමා තවන පිළිවෙතෙහි නොයෙදුනේ අනුන් නොතවන්නේ අනුන් තවන පිළිවෙතෙහි නොයෙදුනේ වේද, තමා නොතවන්නාවූ අනුන් නොතවන්නාවූ හෙතෙම මේ ආත්මයෙහි තෘෂ්ණා රහිතවූයේ කෙලෙසුන්ගෙන් මිදුනේ සිහිල්වූයේ ධ්‍යානාදි සුව විඳිමින් ශ්‍රෙෂ්ඨවූ පුද්ගලයෙක්ව වාසය කරයිද, මේ කාරණයෙන් මේ පුද්ගලතෙම මාගේ සිත සතුටු කරයි. ස්වාමීනි, අපි බොහෝ වැඩ කටයුතු ඇත්තෝ වෙමු. එබැවින් දැන් අපි යමු”යි කීයේය.

“පෙස්සය, ඊට දැන් තෝ කල් දනුව”යි වදාළහ. ඉක්බිති පෙස්ස නම් ඇතරු පුත්තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගෙණ අනුමෝදන්ව උන් ආසනයෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට හොඳින් වැඳ පැදකුණුකොට ගියේය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙස්ස නම් හස්ත්‍යා රොහක පුත්‍රයා බැහැර ගිය නොබෝ වේලාවකින් භික්ෂූන්ට කථා කළහ. “මහණෙනි, පෙස්ස නම් ඇතරුපුත් තෙමේ පණ්ඩිතය. මහණෙනි, පෙස්ස නම් ඇතරු පුත්තෙමේ මහත් නුවණ ඇත්තේය. මහණෙනි, ඉදින් පෙස්ස නම් ඇතරු පුත්තෙමේ යම්තාක් ඔහුට මම මේ පුද්ගලයන් සතරදෙන විස්තර වශයෙන් විභාගකොට කියම්ද, (ඒතාක්) මොහොතක් කල් උන්නේ නම් මහත්වූ අර්ථයෙන් යුක්තව යන්නේය. (සෝවන් ඵලයට පැමිණෙන්නේය.) මහණෙනි, එතකුදු වුවත් මෙතෙකිනුත් පෙස්ස නම් ඇතරුපුත් තෙමේ මහත්වූ අර්ථයෙන් යුක්තවූයේය”යි වදාළහ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මේ පුද්ගලයන් සතරදෙන විස්තර වශයෙන් බෙදා වදාරන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ (විස්තර දෙශනාව) අසා භික්ෂූහු දරන්නාහුය, යන යමක් වේද, භාග්‍යවතුන් වහන්ස, දැන් ඊට කාලය වේ. සුගතයන් වහන්ස, මේ දෙශනාවට සුදුසු කාලය වේ.” “මහණෙනි, එසේ වීනම් අසව්. මනාකොට මෙනෙහිකරව් කියන්නෙමි” “ස්වාමීනි, එසේය”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.

“මහණෙනි, තමන් තවන්නාවූද තමන් තවන පිළිවෙතෙහි යෙදුනාවූද පුද්ගලතෙම කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම වස්ත්‍ර නොහඳින්නේ වෙයි. හොඳ පැවතුම් නැත්තේ වෙයි. මලපහ කොට අතින් පිස දමන්නේ වෙයි. එව ස්වාමීනියි කී විට නොඑන්නේ වෙයි. සිටිනු ස්වාමීනියි කී විට නොසිටින්නේ වෙයි. පළමු කොට ගෙනෙනලද ආහාරය නොපිළිගණියි. උදෙසා කරන ලද්ද නොපිළිගණියි ආරාධනා කොට දුන් බත නොඉවසයි. හෙතෙම කළගෙඩි කටින් ගෙණ දුන් දෙය නොපිළිගණියි. සැළි කටින් ගෙණ දුන් දෙය නොපිළිගණියි. එළිපත අතර කොට දුන්දෙය නොපිළිගණියි. දණ්ඩක් අතර කොට දුන් දෙය නොපිළිගණියි. මෙහොලක් අතර කොට දුන් දෙය නොපිළිගණියි. වළඳන්නාවූ දෙදෙනෙකු අතුරෙන් කෙනෙක් දුන් දෙය නොපිළිගණියි ගැබිණියකගෙන් නොපිළිගණියි. කිරි පොවන්නියකගෙන් නොපිළිගණියි. පුරුෂයන් අතරට ගිය ස්ත්‍රියකගෙන් නොපිළිගණියි. සමාදන් කොට දුන් කල්හි නොපිළිගණියි. යම් තැනක සුනඛයෙක් සිටියේ වේද එතන්හි නොපිළිගණියි. යම් තැනක මැස්සෝ රන්වූ රන්වූ ගැවසෙත්ද එතන්හි නොපිළිගණියි. දියමස් ආහාරය නොපිළිගණියි. ගොඩමස් නොපිළිගණියි. සුරාව නොපිළිගණියි. මෙරය (මල්යුසින් කළ මත්පැන්) නොපිළිගණියි. කාඩිදිය නොබොයි. හෙතෙම එක ගෙයකින් ලැබූ ආහාර ඇත්තේ හෝ වෙයි. එක පිඩකින් යැපෙන්නේ හෝ වෙයි. ගෙවල් දෙකකින් ලැබූ ආහාර ඇත්තේ හෝ වෙයි. පිඩු දෙකකින් යැපෙන්නේ හෝ වෙයි. ගෙවල් සතකින් ලැබූ ආහාර ඇත්තේ හෝ වෙයි. පිඩු සතකින් යැපෙන්නේ හෝ වෙයි. එකම කුඩාවූ ආහාර භාජනයකින් යැපෙයි. කුඩා ආහාර බඳුන් දෙකකින්ද යැපෙයි. කුඩා ආහාර බඳුන් හතකින්ද යැපෙයි. එක් දවසක් හැර දවසක්ද ආහාර ගණියි. දෙදවසක් හැර දවසක්ද ආහාර ගණියි. සත් දවසක් හැර දවසක්ද ආහාර ගණියි. මෙසේ මෙබඳු අඩමසකට වරක් ආහාර ගනිමින්ද වාර භොජනයෙහි යෙදී වාසය කරයි. හෙතෙම අමු පලා කන්නේ හෝ වෙයි. බඩ හමු අනුභව කරන්නේ හෝ වෙයි. හුරුහැල් අනුභව කරන්නේ හෝ වෙයි. සම් කසට අනුභව කරන්නේ හෝ වෙයි. මැලියම් අනුභව කරන්නේ හෝ වෙයි. කුඩු අනුභව කරන්නේ හෝ වෙයි. දඹු බත් අනුභව කරන්නේ හෝ වෙයි. තල මුරුවට අනුභව කරන්නේ හෝ වෙයි. තණකොල අනුභව කරන්නේ හෝ වෙයි. ගොම අනුභව කරන්නේ හෝ වෙයි. වනමුල් ඵල ආහාර කොට ඇතිව වැටුණු ගෙඩි අනුභව කරමින් එයින් යැපෙයි. හෙතෙම හන වැහැරිද දරයි. මිශ්‍රක වැහැරිද දරයි. මල සිරුරෙන් දැමූ වස්ත්‍රද දරයි. පංසුකූල වස්ත්‍රද දරයි. ගස් සුඹුලෙන් කළ වස්ත්‍රද දරයි. අඳුන් දිවි සම්ද දරයි. කුර සහිත අදුන් දිවිසම්ද දරයි. කුසතණ වැහැරිද දරයි. කෙඳිවලින් කළ වැහැරිද දරයි. පතුරුවලින් කළ වැහැරිද දරයි. මිනිස් කෙසින් කළ කම්බිලිද දරයි. අස්ලොම් ආදියෙන් කළ කම්බිලිද දරයි. බකමුහුණු පිහාටු ගොතා කළ වස්ත්‍රද දරයි. හිසකේ රැවුල් උදුරන්නේ, ඉසකේ රැවුල් උදුරන පිළිවෙතෙහි යෙදුනේ වෙයි. ආසන ප්‍රතික්ෂෙප කරන ලද්දේ උඩ බලා සිටින්නේ වෙයි. උක්කුටිකව වීර්‍ය්‍ය කිරීමෙහි යෙදුනේ උක්කුටිකවූයේද වෙයි. කටු යහනෙහි සයනය කරයි. කටු ඇතිරියෙහි සයනය කරයි. සවස තෙවැනි කොට (දවසට තුන් වරක්) දියට බසින පිළිවෙතෙහි යෙදුනේ වාසය කරයි. මෙසේ මෙබඳු නොයෙක් ආකාරයෙන් ශරීරය තවන පෙළන තපස්කම්වල යෙදී වාසය කරයි. මහණෙනි, මේ පුද්ගලතෙම තමන් තවන්නේ තමන් තවන පිළිවෙතෙහි යෙදුනේයයි කියනු ලැබේ.

“මහණෙනි, අනුන් තවන්නාවූ අනුන් තවන පිළිවෙතෙහි යෙදුනාවූ පුද්ගල තෙම කවරේද? මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් එළුවන් මරන්නේ වෙයි. ඌරන් මරන්නේ වෙයි. ලිහිණින් මරන්නේ වෙයි. මුවන් මරන්නේ වෙයි. රෞද්‍රවූයේ වෙයි. මසුන් මරන්නේ වෙයි. සොරකම් කරන්නේ වෙයි. සොරුන් මරන්නේ වෙයි. සිරගෙවල් පාලනය කරන්නේ වෙයි. අන්‍යවූද කිසියම් දරුණුකම් කරන්නාහු මේ පුද්ගලතෙම අනුන් තවන්නේ අනුන් තවන පිළිවෙතෙහි යෙදුනේයයි කියනු ලැබේ.

“මහණෙනි, තමන් තවන්නාවූ තමන් තවන පිළිවෙතෙහි යෙදුනාවූද අනුන් තවන්නාවූ අනුන් තවන පිළිවෙතෙහි යෙදුනාවූද පුද්ගලතෙමේ කවරේද? මහණෙනි, මේලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් ඔටුණු පළඳිනලද ක්ෂත්‍රිය රජෙක් හෝ වෙයි. මහා සාර වංශ ඇත්තාවූ මහත් වස්තුව ඇති බ්‍රාහ්මණයෙක් හෝ වෙයි. හෙතෙම නුවරට නැගෙනහිර දිශාවෙහි අළුත්වූ යාග ශාලාවක් කරවා, හිසකේ රැවුල් බහවා කුර සහිත අඳුන් දිවිසමක් හැඳ ගිතෙලින් හා තලතෙලින් ශරීරය තවරා මුවඅඟින් පිට කසමින් මෙහෙසියද පොරෝහිත බමුණාද සමග යාග ශාලාවට පිවිසෙයි. හෙතෙම එහි අතුරණලද පැදුරු ආදියක් නැති ගොම පිරිබඩකළාවූ භූමියෙහි සයනය කරයි. සමාන වස්සන් ඇති එක දෙනකගේ එක තනයෙක්හි යම් කිරක්වේද එයින් රජතෙම යැපෙයි. දෙවෙනි තනයෙහි යම් කිරක් වේද එයින් මෙහෙසිය යැපෙයි. තුන්වන තනයෙහි යම් කිරක් වේද එයින් පුරෝහිත බමුණා යැපෙයි. සිවුවන තනයෙහි යම් කිරක්වේද එයින් ගිනි පුදත්. ඉතිරිවූවකින් වසුතෙම යැපෙයි. හෙතෙම මෙසේ කියයි. යාගය පිණිස මෙපමණ වෘෂභයන් නසත්වා, යාගය පිණිස මෙපමණ නාඹු වස්සන් නසත්වා, යාගය පිණිස මෙපමණ නෑඹි වැස්සියන් නසත්වා, යාගය පිණිස මෙපමණ එළුවන් නසත්වා, යාගය පිණිස මෙපමණ තිරෙළුවන් නසත්වා, යාගකණු පිණිස මෙතෙක් ගස් කපත්වා, යාග භූමිය වටකිරීම හා ඇතිරීම පිණිස මෙතෙක් කුසතණ සිඳිත්වායි. ඔහුගේ යම් ඒ දාසයෝය කියා හෝ පණිවුඩකාරයෝය කියා හෝ කම්කරුවෝය කියා හෝ කෙනෙක් වෙත්ද, ඔව්හුද දණ්ඩෙන් තැති ගත්තාහු භයින් තැති ගත්තාහු කඳුළු පිරුණු මුහුණු ඇතිව හඬමින් වැඩකරත්. මහණෙනි, මේ පුද්ගල තෙම තමන් තවන්නේ තමන් තවන පිළිවෙතෙහි යෙදුනේද අනුන් තවන්නේ අනුන් තවන පිළිවෙතෙහි යෙදුනේද වේයයි කියනු ලැබේ.

“මහණෙනි, තමන් නොම තවන්නාවූ, තමන් තවන පිළිවෙත නොයෙදුනාවූද අනුන් නොතවන්නාවූ අනුන් තවන පිළිවෙතෙහි නොයෙදුනාවූද පුද්ගලතෙමේ කවරේද? තමන්ද නොතවන්නාවූ අනුන්ද නොතවන්නාවූ ඒ පුද්ගල තෙම මේ ආත්මයෙහිම තෘෂ්ණා රහිතවූයේ කෙලෙසුන්ගෙන් නිවියේ සිහිල්වූයේ ධ්‍යානාදී සුව විඳිමින් ශ්‍රෙෂ්ඨවූ පුද්ගලයෙක්ව වාසය කරයි. මහණෙනි, මේ ලොකයෙහි අර්හත්වූ සම්‍යක්සම්බුද්ධවූ අෂ්ටවිද්‍යා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්තවූ, ශොභන ගමන් ඇත්තාවූ, ලෝකය දන්නාවූ, නිරුත්තර වූ, දමනය කළ නොහැකි පුරුෂයන් දමනය කිරීමෙහි සාරථියෙකු බඳුවූ, දෙවි මිනිසුන්ට අනුශාසනා කරන්නාවූ, චතුරාර්‍ය්‍ය සත්‍යයන් අවබෝධ කළාවූ, සියලු ක්ලේශයන් නැති කළාවූ තථාගතයන් වහන්සේ පහලවෙති. උන්වහන්සේ දෙවියන් සහිතවූ මාරයන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ මේලොකයද මහණ බමුණන් සහිතවූ දෙවි මිනිසුන් සහිතවූ ප්‍රජාවද තමන් වහන්සේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට ප්‍රකාශ කරනසේක. උන්වහන්සේ මුල යහපත්වූ මැදයහපත්වූ කෙළවර යහපත්වූ අර්ථ සහිතවූ ව්‍යඤ්ජන සහිතවූ ධර්මය දෙශනා කරනසේක. සියල්ලෙන් සම්පූර්ණවූ පිරිසිදුවූ මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කරන්නාහ.

ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ අන් එක්තරා කුලයෙක උපන්නෙක් හෝ ඒ ධර්මය අසයි. හෙතෙම ඒ ධර්මය අසා තථාගතයන් වහන්සේ කෙරෙහි පහදියි. එසේ පැහැදුණාවූ හෙතෙම මෙසේ සලකයි. ගිහිගෙයි විසීම අවහිර සහිතය. කෙලෙස් දූවිලි උපදින තැනකි. මහණකම අවකාශය මෙන් නිදහස්ය. ගිහිගෙයි වසන්නහු විසින් එකාන්තයෙන් සම්පූර්ණ කොට එකාන්තයෙන් පිරිසිදු කොට ලියවනලද සකක් වැනි මේ ශාසන බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙන්ට පහසු නොවෙයි. මම හිසකෙස් දැළි රැවුල් කපාදමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වන්නෙම් නම් ඉතා යෙහෙක කියායි. හෙතෙම පසු කාලයෙක්හි ස්වල්පවූ හෝ සම්පත් හැර, මහත්වූ හෝ සම්පත් හැර ස්වල්පවූ හෝ නෑදෑ පිරිස් හැර, මහත්වූ හෝ නෑදෑ පිරිස් හැර හිසකේ දැළි රැවුල් කපාදමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයි.

හෙතෙම මෙසේ පැවිදිවූයේම භික්ෂු සීලයෙන් යුක්ත වූයේ ප්‍රාණඝාතය හැර ප්‍රාණඝාතයෙන් වැලකුනේ වෙයි. බහා තබන ලද දඬු ඇත්තේ පව් කිරීමට ලජ්ජා ඇත්තේ කරුණාවෙන් යුක්ත වූයේ සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කරයි. නුදුන් දෙය ගැණීම හැර නුදුන් දෙය ගැණීමෙන් වැලකුනේ වෙයි. දුන් දෙය ගන්නේ දුන් දෙයෙහි බලාපොරොත්තු ඇත්තේ සොරනොවූ පිරිසිදුවූ සිතින් යුක්තව වාසය කරයි. අබ්‍රහ්මචර්‍ය්‍යාව හැර උතුම් පැවතුම් ඇත්තේ ස්ත්‍රී පුරුෂ සංසර්ගය නම් ග්‍රාම ධර්මයෙන් වෙන්ව බ්‍රහ්මචාරිවේ. මුසාවාදය හැර මුසාවාදයෙන් වැලකුනේ සත්‍යවචන ඇත්තේ සත්‍යයෙන් සත්‍යය ගැළපීම් ඇත්තේ ස්ථීර වචන ඇත්තේ ඇදහිය යුතු වචන ඇත්තේ ලොව මුළා නොකරන්නෙක් වෙයි. කේලාම් කීම හැර කේලාම් කීමෙන් වැලකුනේ වෙයි. මෙයින් අසා මොවුන්ගේ බිඳීම පිණිස එතන්හි නොකියන්නේවෙයි. එතනින් හෝ අසා ඔවුන්ගේ බිඳීම පිණිස මොවුන්ට නොකියන්නේ වෙයි. මෙසේ බිඳුනවුන් ගලපන්නේ හෝ සමගිවූවන්ට අනුබල දෙන්නේ හෝ සමගියෙහි ඇලුනේ සමගියට කැමතිවූයේ සමගියට සතුටුවූයේ සමගි කරණ වචන කියන්නේ වෙයි. පරුෂ වචනය හැර පරුෂ වචනයෙන් වැලකුනේ වෙයි යම් ඒ වචනයක් නිර්දෝෂද, කණට මිහිරිද, ප්‍රේමණීයද, සිත සතුටු කරයිද, යහපත්ද, බොහෝ දෙනාට ප්‍රියද, බොහෝ දෙනාගේ සිත් ප්‍රිය කරන්නේද එබඳු වචන කියන්නේ වෙයි. සම්ඵප්‍රලාපය හැර හිස් කථා කිරීමෙන් වැලකුනේ වෙයි. කාලයට සුදුසු වචන ඇත්තේ, සත්‍යවූ වචන ඇත්තේ, අර්ථයෙන් යුත් වචන ඇත්තේ, ධර්මයෙන් යුත් වචන ඇත්තේ, හික්මීමට සුදුසු වචන ඇත්තේ සුදුසු කල්හි කියන කරුණු සහිතවූ සිමා සහිත අර්ථයෙන් යුක්තවූ සිතෙහි තැන්පත් කටයුතුවූ වචන කියන්නේ වෙයි.

“හෙතෙම පැලවෙන තණ, ගස්, වැල් සිඳීම් බිඳීම් ආදියෙන් වැලකුනේ වෙයි. එක්වේලෙහි වළඳන බත් ඇත්තේ, රාත්‍රිභොජනයෙන් තොරවූයේ, විකල් බොජුනෙන් වැලකුනේ වෙයි. මල් ගඳවිලවුන් දැරීම් සැරසීම් ගැල්වීම් යන මෙයින් වැලකුනේ වෙයි. උස්ආසන මහා ආසනයන්ගෙන් වැලකුනේ වෙයි. රන් රිදී මසු කහවනු පිළි ගැන්මෙන් වැලකුනේ වෙයි. අමු ධාන්‍ය පිළිගැන් මෙන් වැලකුනේ වෙයි. අමු මස් පිළිගැන්මෙන් වැලකුනේ වෙයි. ස්ත්‍රීන් හා කුමරියන් පිලිගැන්මෙන් වැලකුනේ වෙයි. දාසයන් හා දාසීන් පිළිගැන්මෙන් වැලකුනේ වෙයි. එළුවන් හා තිරළුවන් පිළිගැන්මෙන් වැලකුනේ වෙයි. කුකුලන් හා ඌරන් පිළිගැන් මෙන් වැලකුනේ වෙයි. ඇතුන්ද, ගවයන්ද, අසුන්ද, වෙළඹුන්ද පිළිගැණීමෙන් වැලකුනේ වෙයි. කුඹුරු හා ඉඩම් පිළිගැණීමෙන් වැලකුනේ වෙයි. දූත මෙහෙවර හා පණිවුඩ පනත්වල යෙදීමෙන් වැලකුනේ වෙයි. බඩු විකිණීමෙන් හා මිළදී ගැණීමෙන් වැලකුනේ වෙයි. තරාදියෙන් හොරට කිරීමය, තඹ ලෝහාදියෙන් කළ දෙය රත්‍රන්යයි රැවටීමය, හොරට වඤ්චා කිරීමය යන මෙයින් වැලකුනේ වෙයි. අල්ලස් ගැණීමය රැවටීමය කෛරාටික කම් කිරීමය යන මෙයින් වැළකුනේ වෙයි. අත් පා ආදිය කැපීම මැරීම රැහැන් ආදියෙන් බැඳීම සැඟවීසිට මංපැහැරීම ගම් ආදියට පැන කොල්ලකෑම බලහත් කාරකම් කිරීම යන ආදියෙන් වැලකුනේ වෙයි. හෙතෙම කයින් පරිහරණය කරන සිවුරෙන්ද කුසින් පරිහරණය කරන ආහාරයෙන්ද සතුටුවූයේ වෙයි. හෙතෙම යම් යම් තැනෙක්හි යන්නේද (ස්වකීය අටපිරිකර පමනක්) හැරගෙනම යයි. යම්සේ නම් පියාපත් ඇති පක්ෂියෙක් යම් යම් තැන කට පියාඹන්නේ පියාපත් බර පමණක් ගෙන පියාඹන්නේද එපරිද්දෙන්ම මහණ තෙම කයින් පරිහරණය කරන සිවුරෙන්ද කුසින් පරිහරණය කරන ආහාරයෙන්ද සතුටුවූයේ වෙයි. යම් යම් තැනකට යන්නේද (අට පිරිකර පමණක්) හැරගෙණම යෙයි. හෙතෙම මේ උතුම්වූ ශීලයෙන් යුක්තවූයේ අධ්‍යාත්මයෙහි නිරවද්‍ය සුවය විඳියි.

“හෙතෙම ඇසින් රූපයක් දැක නිමිති වශයෙන් නොගනියි. සලකුණු වශයෙන් නොගනියි. යම් හේතුවකින් මේ ඇසෙහි සංවර රහිතව වාසය කරන්නහුට ලොභ ද්වෙෂ සංඛ්‍යාත ලාමකවූ අකුසල ධර්මයෝ උපදිත්ද, ඒ ඇසෙහි සංවරය පිණිස පිළිපදියි. චක්ෂුරින්ද්‍රිය රකියි. චක්ෂුරින්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. කණින් ශබ්දයක් අසා එය නිමිති වශයෙන් නොගනියි. නැවත නැවත මතක් වනසේ අල්ලා නොගනියි. යමක් හේතු කොට ගෙන ශ්‍රොතෙන්ද්‍රියය අසංවරව වසන්නහුට ලොභ ද්වෙෂ අකුසල ධර්මයෝ උපදිත්ද, ඒ ශ්‍රොත ඉන්ද්‍රියයෙහි සංවරය පිණිස පිළිපදියි. ශ්‍රොත ඉන්ද්‍රියරකී. ශ්‍රොත ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. නාසයෙන් ගඳක් ආඝ්‍රාණය කොට එය නිමිති වශයෙන් නොගනී, නැවත නැවත මතක්වනසේ සිතට නොගනී. යමක් හේතු කොටගෙන ඝ්‍රාණෙන්ද්‍රිය අසංවරව වාසය කරන්නහුට ලොභ ද්වෙෂ අකුසල ධර්මයෝ උපදිද්ද, එහි සංවරය පිණිස පිළිපදියි. ඝාණ ඉන්ද්‍රිය රකියි, ඝාණ ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි.

“දිවෙන් රසයක් විඳ එය අරමුණු වශයෙන් නොගනියි. නැවත නැවත මතක් වනසේ නොගනී. යමක් හේතු කොට ගෙන ජිව්හෙන්ද්‍රිය සංවර නොකොට වාසය කරන්නහුට ලොභ ද්වෙෂ අකුසල ධර්මයෝ උපදිද්ද, එහි සංවරය පිණිස පිළිපදියි. ජිව්හෙන්ද්‍රිය රකී. ජිව්හෙන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි.

“කයින් පහසක් ස්පර්ශ කොට එය අරමුණු වශයෙන් නොගනී. නැවත නැවත මතක් වනසේ නොගනී. යමක් හේතු කොට ගෙන කායෙන්ද්‍රියය සංවර නොකොට වාසය කරන්නහුට ලොභ ද්වෙෂ අකුසල ධර්මයෝ උපදිද්ද එහි සංවරය පිණිස පිළිපදියි. කායෙන්ද්‍රිය රකියි. කායෙන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි.

“සිතින් ධර්මාරම්මණයක් දැන නිමිති වශයෙන් නොගනී. නැවත නැවත මතක්වනසේ නොගනී. යම් හේතුවකින් මේ මනින්ද්‍රියයෙහි සංවර රහිතව වාසය කරන්නහුට ලොභ ද්වෙෂ අකුසල ධර්මයෝ උපදිත්ද, එහි සංවරය පිණිස පිළිපදියි. මනින්ද්‍රිය රකියි. මනින්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. හෙතෙම මේ උතුම් ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තවූයේ තම සන්තානයෙහි කෙලෙසුන්ගෙන් තෙත් නොවූ සැපය විඳියි.

“හෙතෙම ඉදිරියට යෑමෙහිද ආපසු යාමෙහිද නුවණින් දැන කරන්නේ වෙයි. ඉදිරිය බැලීමෙහිද හැරී බැලීමෙහිද නුවණින් දැන කරන්නේ වෙයි. අත් පා හැකිලීමෙහිද දිගු කිරීමෙහිද නුවණින් දැන කරන්නේ වෙයි. සඟල සිවුර හා පාත්‍ර සිවුරු දැරීමෙහිද නුවණින් දැන කරන්නේ වෙයි. ආහාර වැළඳීමෙහිද බීමෙහිද රස විඳීමෙහිද නුවණින් දැන කරන්නේ වෙයි. මල මුත්‍ර පහකිරීමෙහිද නුවණින් දැන කරන්නේ වෙයි. යාමෙහිද, සිටීමෙහිද, හිඳීමෙහිද, නිදා ගැනීමෙහිද, නිදි දුරු කිරීමෙහිද, කථා කිරීමෙහිද, නිශ්ශබ්දව හිඳීමෙහිද මනාව දැන කරන්නේ වෙයි.

හෙතෙම මේ උතුම් ශීලරාශියෙන් යුක්තවූයේ, මේ ඉන්ද්‍රිය සංවරයෙන්ද යුක්තවූයේ, මේ උතුම් සිහි නුවණ දෙකින් යුක්තවූයේ විවේකයට සුදුසුවූ ආරණ්‍යය වෘක්ෂමූලය පර්වතය කඳුරැලිය පර්වත ගුහාය සොහොනය දුරවූ වන සෙනාසනය හිස්තැන්ය පිදුරු ගොඩවල්ය යන විවේක සේනාසනයක් සෙවනය කරයි. හෙතෙම බතින් පසු පිණ්ඩපාතයෙන් වැලකුනේ ශරීරය කෙළින් තබා සිත අරමුණෙහි පිහිටුවා හිඳගනියි. හෙතෙම ස්කන්ධ ලෝකයෙහි ලොභය දුරු කොට දුරු කරනලද ලොභය ඇති සිතින් යුක්තව වාසය කරයි, ලොභයෙන් සිත පිරිසිදු කරයි. සිත විනාශ කරන්නාවූ ක්‍රොධය දුරුකොට ක්‍රොධ රහිත සිත් ඇත්තේ සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පා ඇත්තේ වාසය කරයි, ක්‍රොධයෙන් සිත පිරිසිදු කරයි, සිතෙහි ගිලන් බවයයි කියන ලද ථීනයද චෛතසිකයන්ගේ ගිලන් බවයයි කියන ලද මිද්ධයද හැර පහවූ ථීනමිද්ධ ඇත්තේ, ආලොක සංඥා ඇත්තේ, සිහිය හා නුවණ ඇත්තේ වාසය කරයි. ථිනමිද්ධයෙන් සිත පිරිසිදු කරයි, නොසන්සුන් බව හා පසුතැවීම හැර නොසන්සුන් නොවූයේ අද්ධ්‍යාත්මයෙහි සන්සුන් සිත් ඇත්තේ වාසය කරයි. උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසිදු කරයි. විචිකිච්ඡාව හැර දුරුකරන ලද සැක ඇත්තේ කුශල ධර්මයන්හි මෙය කෙසේ කෙසේ වේදැයි පැවති සැක නැත්තේ වාසය කරයි. විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කරයි. හෙතෙම සිත කිළුටු කරන්නාවූ ප්‍රඥාව දුර්වල කරන්නාවූ පඤ්චනීවරණයන් හැර කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාරසහිතවූ විවෙකයෙන් හටගත්තාවූ ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමද්ධ්‍යානයට පැමිණ වාසය කරයි, විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් තමාකෙරෙහි පැහැදීම ඇති චිත්තයාගේ එකඟබැව් ඇත්තාවූ අවිතර්කවූ අවිචාරවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතියගේද නොඇල්මෙන් උපෙක්ෂා ඇත්තේ, සිහිය හා නුවණ ඇත්තේද වාසය කරයි. සුවයද කයින් විඳියි, යමක් උපෙක්ෂා ඇත්තේ සිහිය ඇත්තේ සැපවිහරණ ඇත්තේයයි ආර්‍ය්‍යයෝ කියත්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි, සැපය දුරුකිරීමෙන්ද, දුක දුරු කිරීමෙන්ද පළමුකොටම සොම්නස් දොම්නස් දෙදෙනාගේ සංසිඳීමෙන් දුක් රහිතවූ, සැප රහිතවූ උපෙක්ෂා සිහි පිරිසිදු බව ඇත්තාවූ චතුර්ථ ධ්‍යානයට පැමිණ වාසය කරයි.

හෙතෙම මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිතවූ කල්හි, කෙලෙසුන් පහවගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි පෙර ජාති සිහි කරන නුවණ පිණිස සිත නමයී, හෙතෙම නොයෙක් ආකාරවූ පෙර විසීම් සිහි කරයි, එනම් එක ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිසක්ද, ජාති සතළිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් විනාශ වෙමින් පවතින කල්පයන්ද නොයෙක් හැදෙමින් පවතින කල්පයන්ද, නොයෙක් විනාශ වන හෝ හැදෙන කල්පයන්ද අසවල් තැනවීමි මෙබඳු නම් ඇත්තෙම් මෙබඳු ගොත්‍ර ඇත්තෙම් මෙබඳු වර්ණ ඇත්තෙම් මෙබඳු ආහාර ඇත්තෙම් මෙබඳු සුවදුක් වින්දෙම් මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම ඉන් චුත වූයේ අසවල් තන්හි ඉපදුනෙමි. එහිදු මෙබඳු නම් ඇත්තෙම් මෙබඳු ගොත්‍ර ඇත්තෙම් මෙබඳු වර්ණ ඇත්තෙම් මෙබඳු ආහාර ඇත්තෙම් මෙබඳු සුව දුක් වින්දෙම් මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම ඉන් චුතවූයේ මෙහි උපන්නේ වෙමියි, මෙසේ ආකාර සහිතවූ දැක්වීම් සහිතවූ නොයෙක් ආකාරවූ පෙර ජාති සිහි කරයි.

හෙතෙම මෙසේ සිත එකඟවූ කල්හි පිරිසිදුවූ කල්හි දීප්තිමත්වූ කල්හි, කාමසිත් රහිතවූ කල්හි, පහවගිය කෙලෙස් ඇති කල්හි මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටිකල්හි, ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි සත්වයන්ගේ චුති උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිතනමයි හෙතෙම පිරිසිදුවූ මිනිස් ඇස ඉක්ම පැවැත්තාවූ දිව්‍යවූ ඇසින් හීනවූද, ප්‍රණීතවූද, යහපත් වර්ණ ඇත්තාවූද, දුර්වර්ණවූද, යහපත් ගති ඇත්තාවූද අයහපත්ගති ඇත්තාවූද, චුතවනු ලබන්නාවූද උපදිනු ලබන්නාවූද, සත්වයන් දකියි. ‘පින්වත්නි, ඒකාන්තයෙන් මේ සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූවෝය. වාග්දුශ්චරිතයෙන් යුක්තවූවෝය, මනො දුශ්චරිතයෙන් යුක්තවූවෝය, ආර්‍ය්‍යයන්ට දොස් කියන්නෝය, මිථ්‍යාදෘෂ්ටි ඇත්තෝය, මිථ්‍යාදෘෂ්ටික කර්ම සමාදන්වූවෝය, ඔව්හු ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු නපුරු ගති ඇති යටිකුරුව වැටෙන්නාවූ නරකයෙහි උපන්නාහුය. පින්වත්නි, මේ සත්වයෝ වනාහී කාය සුචරිතයෙන් යුක්තවූවාහු වාග් සුචරිතයෙන් යුක්තවූවාහු ආර්‍ය්‍යයන්ට දොස් නොකියන්නාහු සම්‍යක්දෘෂ්ටි ඇත්තාහු සම්‍යක්දෘෂ්ටික කර්ම සමාදන්වූවාහුය. ඔවුහු ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපන්නාහුය’යි මෙසේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්ම පැවැත්තාවූ දිව්‍යවූ ඇසින් කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියාවූ සත්වයන් දකියි, හීනවූද ප්‍රණීතවූද යහපත් වර්ණවූද, දුර්වර්ණවූද, හොඳ ලොවට ගියාවූද, නරක ලොවට ගියාවූද චුතවනු ලබන්නාවූද, උපදිනු ලබන්නාවූද කම්වූ පරිද්දෙන් පරලොව ගියාවූ සත්වයන් දනියි.

“හෙතෙම මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, පහවගිය කෙලෙස් ඇති කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, ආශ්‍රවයන් පහකිරීමේ ඤාණය පිණිස සිත නමයි, හෙතෙම මේ දුකයයි තත්වූ පරිද්දෙන් දනියි. මේ දුකට හේතුවයයි තත්වූ පරිද්දෙන් දනියි, මේ දුක නැති කිරීමයයි තත්වූ පරිද්දෙන් දනියි, මේ දුක් නැති කිරීමට පිළිපදින්නාවූ මාර්ගයයයි තත්වූ පරිද්දෙන් දනියි, මේ ආශ්‍රවයෝයයි තත්වූ පරිද්දෙන් දනියි, මේ ආශ්‍රවයන්ට හේතුවයයි තත්වූ පරිද්දෙන් දනියි, මේ ආශ්‍රවයන්ගේ නැති කිරීමයයි තත්වූ පරිද්දෙන් දනියි. මේ ආශ්‍රවයන් නැති කිරීමට පිළිපදින්නාවූ මාර්ගය’යි තත්වූ පරිද්දෙන් දනියි, මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ ඔහුගේ සිත කාමාශ්‍රව කෙරෙන්ද මිදෙයි, භාවාශ්‍රව කෙරෙන්ද සිත මිදෙයි, අවිද්‍යාශ්‍රව කෙරෙන්ද සිත මිදෙයි, මිදුනු කල්හි මිදුනේය යන දැනීම වෙයි, ජාතිය ක්ෂය කරන ලද්දීය. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය, සතර මාර්ගයෙන් කටයුතු දෙය කරන ලද්දේය. මෙයින් මතු කළයුතු අනිකක් නැත්තේයයි දැනගණියි, මහණෙනි, මේ පුද්ගලතෙම තමන් නොතවන්නේ තමන් නොතවන්නාවූ පිළිවෙතෙහි යෙදුනේද, අනුන් නොතවන්නේ අනුන් නොතවන්නාවූ පිළිවෙතෙහි යෙදුනේද වේයයි කියනු ලැබේ. හෙතෙම තමන් නොතවන්නාවූද, අනුන් නොතවන්නාවූද මේ ආත්මයෙහිම තෘෂ්ණා රහිතවූයේ කෙලෙසුන්ගෙන් නිවියේ සිහිල්වූයේ ධ්‍යානාදී සැප විඳින සුළුවූයේ ශ්‍රෙෂ්ඨවූ පුද්ගලයෙක්ව වාසය කෙරේ”යයි වදාළහ.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්තාහුය.

පළමුවෙනිවූ කන්දරක සූත්‍රය නිමි. (1-1)